slc
logo
Home   |    News
සැප්තැම්බර් 21, 2025
බංග්ලාදේශයට කඩුලු 4 ක ජයක්

sinhala editor

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැති පළමු තරග‍යෙන් බංග්ලා‍දේශය කඩුලු 4ක ජයක් වාර්තා කළේය. ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශය සතු වූ අතර, ඔවුන් පළමුව පන්දු යැවීම තෝරාගත් බැවින් ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 168ක් ලබා ගැනීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය ඕවර් 19.5කදී කඩුලු 6ක් දැවී ජයග්‍රාහී සීමාව පසු කළේය.

ආරම්භක පිතිකරු ටැන්සින් හසන්ගේ කඩුල්ල පළමු ඕවරයේදීම බිඳ දැමූ නුවන් තුෂාර ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ නැංවුවද නායක ලිටන් දාස් හා සායිෆ් හසන් එක්ව දෙවැනි කඩුල්ලට පන්දු 34කදී ලකුණු 59ක සබඳතාවක් ගොඩනැගීම, බංග්ලාදේශයට කදිම අඩිතාලමක් විය.

වනිඳු හසරංගගේ පන්දුවකට අසරණ වූ නායක ලිටන් ලකුණු 23කට දැවීගිය අතර, අනතුරුව පිටියට පිවිසි තවුහිද් හිරිඩෝයි, හසන් සමඟ එක්ව තෙවැනි කඩුල්ලට පන්දු 45කදී තවත් ලකුණු 54ක් එක් කිරීමට සමත් වුණි.

පන්දු 45කදී හයේ පහර 4ක් හා හතරේ පහර 2ක් සමඟ ලකුණු 61ක් ලබා ගත්  සායිෆ් හසන් වනිඳුගේ පන්දුවකට වෙල්ලාලගේ අතට උඩ පන්දුවක් දී දැවී ගිය අතර, ෂමීම් හොසේන් සහ තවුහිද් හිරිඩෝයි සිව්වැනි කඩුල්ලට ලකුණු 44ක් එක් කිරීමට සමත්විය. තවුහිද් හිරිඩෝයි පන්දු 37කට මුහුණදී හයේ 2ක් හා හතරේ 4ක් සමඟ ලකුණු 58ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව මෙම තරගයේ දී ඇෆ්ගනිස්තානය සමඟ ක්‍රීඩා කළ කණ්ඩායම සමඟම පිටියට අවතීර්ණ වූ අතර, සිය පියාගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ගිය දුනිත් වෙල්ලාලගේ යළි ඩුබායි වෙත පැමිණ කණ්ඩායමට එක්වී තරගයට ක්‍රීඩා කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපුරුදු පරිදි පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් ඉනිම ආරම්භ කරමින් පළමු කඩුල්ලට ලකුණු 44ක් එක් කළහ. ලකුණු 22ක් ලබා සිටි පැතුම් පළමු කඩුල්ල ලෙස දැවීගිය අතර, කුසල් මෙන්ඩිස් පන්දු 25කදී හයේ පහර 3ක් හා හතරේ පහරක් සමඟ ලකුණු 34ක් ලබා ගැනීමට සමත් විය.

මේ දෙදෙනාගේ දැවී යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා පි‍ලේ ලකුණු වේගය අඩාල වූ අතර, 15 වැනි ඕවරය නිමාවෙද්දී කඩුලු 4ක් දැවී ලබා සිටියේ ලකුණු 115ක් පමණි. දසුන් ශානක හා නායක චරිත් අසලංක 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 27කදී වේගවත් ලකුණු 57ක් එක් කිරීමට සමත් වූ අතර, මෙහිදී චරිත් පන්දු 12කින් හ‍යේ හා හතරේ පහර බැගින් එල්ල කොට ලකුණු 21ක් ලබා ගනිමින් පිටියෙන් ඉවත් විය.

පළපුරුදු ක්‍රීඩක දසුන් ශානක ශ්‍රී ලංකා ඉනිම අවසන් වන තෙක් කඩුල්ලේ රැඳෙමින් පන්දු 37ක් තුළ හයේ 6ක් හා හතරේ 3ක් සමඟ ලකුණු 64ක් ලබා ගැනීමට සමත් වූවේය. බංග්ලාදේශය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ මුස්තෆුසුර් රහ්මාන් ලකුණු 20කට කඩුලු 3ක් බිඳ හෙළූ අතර, මෙහෙදි හසන් ලකුණු 25කට කඩුලු 2ක් බිඳ හෙලා ගත්තේය.

සුපිරි හතර වටයේ ශ්‍රී ලංකාව සහභාගිවන දෙවැනි තරගය පාකිස්තානය සමඟ මේ 23 වැනිදා අබුඩාබි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

ශ්‍රී ලංකා පිල කඩුලු 7ක් දැවී ලකුණු 168 (ඕවර් 20)

පැතුම් නිස්සංක 22, කුසල් මෙන්ඩිස් 34, කමීල් මිෂාර 5, කුසල් පෙරේරා 16, දසුන් ශානක නොදැවී 64, චරිත් අසංලක 21, කමිඳු මෙන්ඩිස් 1, වනිඳු හසරංග 2, අති‍රේක 3 (මුස්තෆුසුර් රහ්මාන් 20/3, මෙහෙදි හසන්  25/2)

බංග්ලාදේශ පිල කඩුලු 6ක් දැවී ලකුණු 169 (ඕවර් 19.5)

ලිටන් දාස් 23, සායිෆ් හසන් 61, ෂමීම් හොසේන් නොදැවී 14, තවුහිද් හිරිඩෝයි 58, අති‍රේක 3 ( නුවන් තුෂාර 42/1, දුෂ්මන්ත චමීර 32/1, වනිඳු හසරංග 22/2, දසුන් ශානක 21/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee