slc
logo
Home   |    News
සැප්තැම්බර් 19, 2025
බාළිකාවන්ගේ විස්සයි-20 ශක්තිය උරගා බැලීම හෙට දඹුල්ලේදී ඇරඹෙයි

sinhala editor

අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙසින් ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලිය හෙට (20 වැනිදා) රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මැලිබන් බිස්කට් සමාගමේ පූර්ණ අනුග්‍රහය ඇතිව පවත්වනු ලබන මෙම තරගාවලිය ‘මැලිබන් කුසලාන‘ වෙනුවෙන් පැවැත්වෙනු ඇත.

මෙම තරගාවලියට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම ඉකුත් 16 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණියේය. ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායමේ නායිකාව ලෙසින් සමාරා ඩුල්වින් කටයුතු කරන්නීය. ප්‍රතිවාදීන් වන සත්කාරක කණ්ඩායම තුන් ඉරියව් ක්‍රීඩිකා මනුදි නානායක්කාරගේ නායකත්වය යටතේ තරග වදිනු ඇත.

තරග 5 කින් සමන්විත මෙම තරගාවලියෙන් අනතුරුව තරගයකින් සමන්විත එක්දින තරගයක්ද පැවැත්වෙනු ඇත.

මෙම තරගාවලිය ඉලක්ක කර ගනිමින් දෙපිළම පෙරේදා දිනයේ සිට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සිය පුහුණු සැසිවලට සහභාගි වූ අතර තරගයට පෙර දින හෙවත් අද (19 දා) ශ්‍රී ලංකා කණ්ඩායම පමණක් සිය පුහුණුවීම් වල නිරත වූහ. ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අද පස්වරුවේදී තම පුහුණුවීම් වල නිරතව සිටීමට නියමිත වුවත් ඔවුන් හදිසියේම එය අවලංගු කරමින් ක්‍රීඩිකාවන්ට විවේකීව පසුවීමට අවස්ථාව සලසා දී තිබිණ.

තරගාවලිය පිළිබඳව අදහස් දක්වා සිටි දෙපිළේම නායිකාවන් සඳහන් කර සිටියේ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර තම කණ්ඩායමේ ශක්තිය පිළිබඳව තක්සේරුවක් ලබාා ගැනීම සඳහා මෙම තරගාවලිය ඉතා වැදගත් වන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි සංචාරක කණ්ඩායමේ නායිකාව වන සමාරා ඩුල්වින්, “අපි මීට ඉහතදීත් ශ්‍රී ලංකාවට පැමිණ තරග කොට තිබෙනවා. ඒ වගේම ආසියානු තණතීරුවලදී ක්‍රීඩා කරන්නේ කොහොමද කියන එක ගැන මෙම තරගාවලියේදී අපිට වැඩි අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. අපේ ප්‍රතිවාදී කණඩායම වන ශ්‍රී ලංකාව ඉතා හොඳින් දක්ෂතා දක්වන කණ්ඩායමක්. ඔවුන් සතුව වසර කීපයක්ම ක්‍රීඩා කරන ලද අත්දැකීම් සපිරි ක්‍රීඩිකාවන් සිටිනවා. අපි බලාපොරොත්තු වෙනවා හෙටින් ආරම්භ වන තරගාවලිය හොඳින් තරග කරන්න“ යනුවෙනි.

මේ අතර සත්කාරකත්වයේ වාසිය හිමිව තිබෙන ශ්‍රී ලංකා නායිකාව ද සදහන් කර සිටියේ, ඉකුත් වර පැවැති බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිය ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබීම නිසා කණ්ඩායම තුළ යහපත් මානසිකත්වයක් ගොඩ නැගී තිබෙන බවයි. “ඇත්තටම අපි මේ අපිත් එක්ක තරග කරන්න ඇවිල්ලා ඉන්න කණ්ඩායමේ ශක්තිය කොහොමද කියන්න හරියටම දන්නේ නෑ. නමුත් අපි දන්නවා ඔවුන් ඉතා හොඳින් තරග කරන වග. ඔවුන්ට එරෙහිව අපි ඉකුත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පරායට කිරීමට සමත්වීම නිසා අපේ කණ්ඩායම තුළ මේ තරගාවලිය කෙරෙහි ලොකු බලාපොරොත්තුවක් ඇතිවෙලා තියෙනවා. කොහොම නමුත් හෙට දිනයේදී අපි හොඳින් තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා“ යැයිද මනුදි පවසා සිටින්නීය.

ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව වන මනුදිි නානායක්කාර මෙන්ම ඇයගේ සහායිකාව වන රශ්මිකා සෙව්වන්දිද ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග අත්දැකීම් ඇති ක්‍රීඩිකාවන් යුගලකි. ඔවුන් වසර කීපයක් තිස්සේම ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජයන කර සිටින බැවින් ඔවුන් සතු අත්දැකීම් සම්භාරය, සෙසු ක්‍රීඩිකාවන්ටද ආදර්ශයක් ලෙස ගත හැකි වනු ඇත. මෙය ශ්‍රී ලංකා කණ්ඩායම දෙසින් ධනාත්මක කරුණක් ලෙස සඳහන් කළ හැක.

දෙරට අතර තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල යූ ටියුබ් චැනලයේ මෙන්ම ටැලන්ට් ටීවී නාළිකාව ඔස්සේ සජීවීව විකාාශනය කෙරෙනු ඇත. මෙම තරගාවලිය නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ අවස්ථාව සලසා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධි විධාන යොදා තිබේ.

ඔස්ට්‍රේලියානු බාළිකා කණ්ඩායම – අරා ඒරි, ඊවා බර්ඩ්, අවා ඩෘරි, සමාරා ඩුලිවින්, ලුසී ෆින්, ලිලී හැමිල්ටන්, ශිලෝ ජුලියන්, ජෙස්මින් කම්බොජ්, සාරා කෙනඩි, චාර්ලි මැක්ලීන්, ඉදිරා පනෙලි, එමිලි පවෙල්, චෙල්සි සොන්ටර්, අයාකා ස්ටැෆර්ඩ්, අයිජේ විලිග්බි.

ශ්‍රී ලංකා බාළිකා කන්ඩායම – මනුදි නානායක්කාර (නායිකා), සංජනා කාවින්දි, විමෝක්ෂා බාලසූරිය, හිරුණි හංසිකා, නෙතඟි ඉසුරාංජලී, රශ්මිකා සෙව්වන්දි, ශෂිනි ගිම්හානි, අසේනි තලගුණේ. ප්‍රමුදි මෙත්සරා, දනෝදයා සෙව්මිණී, චමුදි ප්‍ර බෝධා, ලිමන්සා තිලකරත්න, රශ්මි නේත්‍රාංජලී, රිෂ්මි සංජනා, මිතලි අයෝදයා.

සැප්තැම්බර් 20 – පළමු විස්සයි-20 තරගය

සැප්තැම්බර් 21 – දෙවැනි විස්සයි-20 තරගය

සැප්තැම්බර් 24 – තෙවැනි විස්සයි-20 තරගය

සැප්තැම්බර් 26 – සිව්වැනි විස්සයි-20 තරගය

සැප්තැම්බර් 28 – පස්වැනි විස්සයි-20 තරගය

සැප්තැම්බර් 30 – පළමු සහ එකම එක්දින තරගය

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee