slc
logo
Home   |    News
සැප්තැම්බර් 1, 2025
යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට මුල්ගල තැබීම ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ සුරතින්

sinhala editor

සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සදහා සමාන අවස්ථා ලබාදීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් “ජාතික සංවර්ධන ගමන් මඟ“ වැඩසටහන යටතේ මෙතෙක් කලක් උතුරු සහ නැගෙනහිර පළාත්වලට අඩුපාඩුවක්ව පැවැති ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක අඩුව පිරිමසාලමින් යාපනය මණ්ඩතිව් දූපතෙහි ඉදි කෙරෙන ‘යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය‘ සඳහා මුල් ගල් තැබීම, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සහ විධායක කමිටුවේ ආරාධනයකට අනුව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මැතිතුමාගේ සහභාගිත්වයෙන්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (2025 සැප්තැම්බර් මස 01 වැනිදා) පස්වරුවේදී සිදු කෙරිණ.

මෙදිනදී මුල්ගල් තැබුණු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීම දක්වා වන පූර්ණ වියදම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දරනු ලබයි. ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම පමණක් නොව එය දිගුකාලීන සැලැස්මක් යටතේ අන්තර්ජාතික මට්ටමේ ඉහළම පහසුකම්වලින් සමන්විත ‘ක්‍රීඩා නගරයක්‘ බවට පත් කිරීම මෙහි විශේෂ අරමුණක් වන අතර එහි සැලසුමද ප්‍රකාශයට පත් කිරීම මෙදිනදී සිදු කෙරිණ. 

ඒ අනුව මණ්ඩතිව් දූපතේ අක්කර 138 කින් සමන්විත භූමි භාගය ඇතුළත ඉදිකිරීමට නියමිත මෙම ක්‍රීඩා නගරයට, පිහිණුම් තටාකාංගණයක්, අනෙකුත් ක්‍රීඩාවලින් සමන්විත අංග සම්පූර්ණ ගෘහස්ථ ක්‍රීඩාගාරයක්, තරු පන්තියේ හෝටල් හා අවන්හල්, අති සුඛෝපභෝගී මහල් නිවාස, සාප්පු සංකීර්ණ හැරුණු කොට ගෙන විනෝදාස්වාදය ගෙන එන මධ්‍යස්ථාන වලින් සමන්විත වනු ඇත.

මණ්ඩතිව් දූපතේ අක්කර 48 යි රූඩ් 2 යි පර්චස් 30.58 ක භූමි භාගයක ඉදිකෙරෙන මෙම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, මධ්‍ය තණතීරු 10 කින් සමන්විත වනු ඇත. මෙම ක්‍රීඩාංගණයේ ඇති තවත් සුවිශේෂීත්වයක් වන්නේ ජාත්‍යන්තර තරගයකදී ප්‍රධාන තණතීරුවේ සිට හතරේ සීමාව දක්වා අවම දුර ලෙසින් සැලකෙන මීටර 75 ට වඩා වැඩි දුරකින් හෙවත් මීටර 80 කට වඩා වැඩි ඈතින් හතරේ සීමාව එළීමේ හැකියාවෙන් යුක්ත වීමයි.

අදියර හතරක් යටතේ ඉදිකිරීමට නියමිත මෙම යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණයේ මූලික අදියර ලෙසින් පළමුව තරග පැවැත්විය හැකි මට්ටමට ක්‍රීඩාංගණය සහ ක්‍රීඩාගාරය ඉදිකිරීමය. දෙවැනි අදියර යටතේ ප්‍රධාන ප්‍රේක්ෂකාගාර සහ මාධ්‍ය කුටියද, තෙවැනි අදියර යටතේ ක්‍රීඩාංගණය වටා වන ප්‍රේක්ෂකාගාර ඉදි කිරීමට නියමිත අතර විදුලි ආලෝක පද්ධතිය ස්ථාපනය කිරීම අවසන් අදියර හෙවත් සිව්වැනි අදියරයේදී සිදු කෙරෙනු ඇත.

යාපනය, වෙලනෙයි ප්‍රාදේශීය සභාව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා දී තිබෙන මෙම භූමි භාගයෙහි ඉදිකෙරෙන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 40,000 කට ආසන්න ප්‍රේක්ෂක සංඛ්‍යාවකට තරග නැරඹිය හැකි වන ආකාරයෙන් ඉදි කෙරෙනු ඇත. ජාත්‍යන්තර මට්ටමේ දිවා/රාත්‍රී තරග පැවැත්වීමේ පහසුකම් සහිතව ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙනු ලබන පස්වැනි ක්‍රීඩාංගණය ලෙසින් මෙන්ම ජාත්‍යන්තර තරග පැවැත්විය හැකි 7 වැනි ක්‍රීඩාංගණය ලෙසින් යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉතිහාසගත වනු ඇත. මෙම ඓතිහාසික මුල පිරීම හරහා උතුරු පළාතේ ක්‍රිකට් ක්‍රීඩාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වැදගත් සංධිෂ්ඨානයක් සනිටුහන් කරන අතර ඊට අමතරව ක්‍රීඩාව තුළින් ජාතීන් අතර සහජීවනය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් හි දායකත්වයද මෙහිදී සංකේතවත් කරනු ඇත.

‍මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල, ධීවර සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රෙස්කර සහ ක්‍රීඩා නියෝජ්‍යය අමාත්‍ය සුගත් තිලකරත්න යන මහත්වරුද සහභාගිව සිටියහ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee