slc
logo
Home   |    News
සැප්තැම්බර් 28, 2025
යොවුන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට අති විශිෂ්ඨ ජයක්

sinhala editor

ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමට එරෙහිව පැවැති පළමු සහ එකම පන්දුවාර 50 එක්දින තරගයෙන් ලකුණු 180 ක දැවැන්ත තරග ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම අද (28 දා) සමත්වූවේය. රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ ජයත් සමඟ තරගාවලියේ ජයද ශ්‍රී ලංකාව හිමිකර ගත්තේය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 7 ක් දැවී ලකුණු 266 ක් රැස් කරන ලදුව ඊට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩිකාවන්ට පන්දුවාර 24.4 කදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 86 ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශෂිනි ගිම්හානි සහ ලිමන්සා තිලකරත්න කඩුලු 4 බැගින් බිඳ හෙළූහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කළ සංජනා කාවින්දි සහ විමෝක්ෂා බාලසූරිය පළමු කඩුල්ල වෙනුවෙන් ලකුනු 51 ක් එක් කළහ. මෙහිදී විමෝක්ෂා ලකුණු 18 ක් ලබා සිටියදී දැවී ගියාය. අනතුරුව පන්දුවට පහර දීමට  පැමිණි ලිමන්සා තිලකරත්න (05), නෙතඟි ඉසුරාංජලී (06) සහ මනුදි නානායක්කාර (04) අඩු ලකුණු වලට දැවී යෑම නිසා 18 වැනි පන්දුවාරය වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 4 ට ලකුණු 103 ක් වශයෙනි.

මෙම පිතිකාරිණියන් අඩු ලකුණු වලට දැවී ගියද අනෙක් අන්තයේ රැදී සිටි සංජනා කාවින්දි ලකුණු රැස් කිරීමට සමත්වීම නිසා එය ශ්‍රී ලංකා ඉනිමට එතරම් නොදැණින. මෙම තරගයට පෙර පැවැති පන්දුවාර විස්සයි-20 තරග 4 දීම පිතිකාරිණියක් ලෙස අතිශය සාර්ථකත්වයක් පෙන්නුම් කරන ලද සංජනා කාවින්දි, අද තරගයේදීද ලකුණු 91 ක් ලබා ගත්තේ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වෙමින්. පන්දු 121 කට මුහුණ දුන් වමත් පිතිකාරිණිය ඊට හතරේ පහර 12 ක් සහ එක් හයේ පහරක් ඇතුළත් කළාය. මෙම තරගයට පෙර ඇය ක්‍රීඩා කරන ලද තරග 4 දී ඇයගේ ලකුණු ලබා ගැනීම සනිටුහන් වූයේ 25, 36, 24, සය 62 වශයෙනි.

මුලු ලකුණු සංඛ්‍යාව 179 ක් තිබියදී සංජනා දැවී ගියේ ශතකයට ලකුණු 08 ක් මෑතින් සිටියදී වීම කණගාටුදායක විය. කෙසේ වෙතත් ඇයගේ මෙම ඉනිම ප්‍රධානකොට මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් ඈ පිදුම් ලැබුවාය. ඇයට අමතරව ඉනිම මැදින් පිවිසි රශ්මි නේත්‍රාංජලී පන්දු 84 කදී හතරේ පහර 7 ක් ද සමඟ ලකුණු 59 ක් රැස් කරමින් ඉනිමේ දෙවැනි අර්ධ ශතක ලාභිණිය බවට පත්වූවාය.මෙම තරගයේදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් අතන් අතිරේක ලකුණු 32 ක් පිරිනමා තිබීමද කැපී පෙනිණ.

ශ්‍රී ලංකා පසුපෙළ පිතිකාරිණියන්ද හොඳින් පන්දුවට පහර දීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුනු 250 සීමාවෙන් ඔබ්බට යෑමට අවස්ථාව උදාවිය. ඒ වෙනුවෙන් ශෂිනි ගිම්හානි (19) සහ රශ්මිකා සෙව්වන්දි (22*) පිත්තෙන් දස්කම් දැක්වූවාය.

ශ්‍රීි ලංකා අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 7 කට ලකුණු 266 යි – (සංජනා කාවින්දි 92, විමෝක්ෂා බාලසූරිය 18, ලිමන්සා තිලකරත්න 05, නෙතඟි ඉසුරාංජලී 06, මනුදි නානායක්කාර 04, රශ්මි නේත්‍රාංජලී 59, ශෂිනි ගිම්හානි 19, රෂ්මිකා සෙව්වන්දි 22*, ප්‍රමුදි මෙත්සරා 09, අයකා ස්ටැෆර්ඩ් 37/2, අවා ඩ්‍රෘරි 35/1, ඉන්දිරා පනෙලි 39/1, චාර්ලි මැක්ලීනන් 17/1)

ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම පන්දුවාර 24.4 කදී සියලු දෙනා දැවී ලකුණු 86 යි – (සමාරා ඩුල්වින් 16, ලුසී ෆින් 34, ලිමන්සා තිලකරත්න 07/3, ශෂිනි ගිම්හානි 18/3, රශ්මි නේත්‍රාංජලී 10/1, චමෝදි ප්‍ර බෝදා 19/1, රශ්මිකා සෙව්වන්දි 08/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee