අවුරුදු 19න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස ඔස්ට්‍රේලියා සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත විස්සයි20 තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 29ක ජයක් ලැබූ ශ්‍රී ලංකා යෞවනියෝ තරගාවලිය 2-0ක් ලෙස පෙරමුණට පැමිණ සිටිති.
මැලිබන් බිස්කට් සමාගමේ පූර්ණ අනුග්‍රහය ඇතිව ‘මැලිබන් කුසලාන‘ වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියේ දෙවැනි තරගය අද (21) රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති අතර, ඔස්ට්‍රේලියානු 19න් පහළ පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ බාළිකා කණ්ඩායම කඩුලු 9කට ලකුණු 138ක් රැස්කළ අතර, ඔස්ට්‍රේලියානු පිල ඕවර් 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 109ක් ලබා සිටියහ.
තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගත් රශ්මි නේත්‍රාංජලි ලකුණු 24ක් රැස්කළ අතර, පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකාරිණී ෂිලෝ ජුලියන් ලකුණු 22ක් ලබා සිටියදී දවාගෙන කැපී පෙණෙන දස්කම් දැක්වූවාය.
පළමු තරගයේදී කඩුලු 3ක් දවාගත් මහනුවර මහමායා බාලිකාවෙන් ක්‍රිකට් අත්පොත් තැබූ 17 හැවිරිදි අසෙනි තලගුණේ අද තරගයේදී ලකුණු 17කට කඩුලු 2ක් බිදහෙළූ අතර, රත්ගම දේවපතිරාජ විදුහලේ 16 හැවිරිදි ෂශිනි ගිම්හානි ලකුණු 17කට කඩුලු 2ක් බිදෙලා ගත්තාය.
ඔස්ට්‍රේලියානු 19න් පහළ පිලේ මුල් කඩුලු දෙක ලකුණු 29ක් වෙද්දී දැවීගිය අතර, සමාරා දුල්වින් හා එමලි පවෙල් තෙවැනි කඩුල්ලට පන්දු 26කදී එක්කළ ලකුණු 31 ඔවුන්ගේ ඉනිමේ හොඳම සබඳතාව වූවේය. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ පන්දු රැකීම හා පන්දු යැවීම හමුවේ මැද පෙළ පිතිකාරිණියන් සිවුදෙනකු ලකුණු 15ක් තුලදී දැවී ගියහ. නොදැවී ලකුණු 17ක් ලබාගත් අයාකා ස්ටැෆර්ඩ් හා අද දින තරගයේ
‘මැලිබන් කොලිටි ප්ලේයර්‘ සම්මානය දිනාගත් අවා ඩූරී එක්ව 9 වැනි කඩුල්ලට පන්දු 9කදී ලකුණු 14ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වූහ. ආවා ඩූරී ලකුණු 24කට කඩුලු 3ක් බිඳහෙලීම හේතුවෙන් එම සම්මානය හිමි විය.
ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිණියන් වූ සන්ජනා කාවින්දි හා විමොක්ෂා බාලසූරිය ඊයේ පළමු තරගයේදී පළමු කඩුල්ලට ලකුණු 88ක සබඳතාවක් ගොඩනැඟූ අතර, අද දිනයේ පළමු කඩුල්ලට ලකුණු 32ක් එක් කළහ.
කඩුලු 4ක් ලකුණු 59කට බිඳවැටී තිබියදී ශෂිනි ගිම්හානි හා නෙතංගි ඉසුරාංජලී එක්ව පන්දු 22කදී ලකුණු 30ක් පස්වැනි කඩුල්ලට එක් කිරීමෙන් ලකුණු පුවරුව ඉහළ ගියේය. ආවා ඩූරී යැවූ තරගයේ 19 වැනි ඕවරයේදී අසෙනි තලගුණේ හා රශ්මි නේත්‍රාංජලී එක්ව ලකුණු 12ක් ලකුණු පුවරුවට එක් කළහ.
දෙරට අතර තෙවැනි විස්සයි20 තරගය මේ 24දා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වේ.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම කඩුලු 3කට ලකුණු 138 (ඕවර් 20)
සන්ජනා කාවින්දි 24, මනුදි නානායක්කාර 14, ශෂිනි ගිම්හානි 10, නෙතංගි ඉසුරාංජලී 21, රශ්මි නේත්‍රාංජලී 24, රශ්මිකා සෙව්වන්දි 12, අතිරේක 14 (ආවා ඩූරී 24/3, ලුසී ෆින් 30/2)
ඔස්ට්‍රේලියානු වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 109 (ඕවර් 20)
ෂිලෝ ජුලියන් 22, සමාරා දුල්වින් 22, එමලි පවෙල් 15, අයාකා ස්ටැෆර්ඩ් නොදැවී 17, අතිරේක 9 (චමුදි ප්‍රබෝධා මුණසිංහ 11/1, ප්‍රමුදි මෙත්සරා 15/1, රශ්මි නේත්‍රාංජලී 9/1, අසෙනි තලගුණේ 15/2, ෂශිනි ගිම්හානි 17/2, ලිමන්සා තිලකරත්න 15/1)





