slc
logo
Home   |    News
ඔක්තෝබර් 21, 2025
ජයග්‍රහණයට පුහුණුකරුගේ සැලසුම් හා දිරිගැන්වීම් බලපෑවා – චමරි අතපත්තු

sinhala editor

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ මුහුණදුන් බංග්ලාදේශයට එරෙහි තරගයේදී ශ්‍රී ලංකා පිල ලකුණු 7ක සියුම් ජයක් වාර්තා කළ අතර, ඒ සඳහා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුගේ සැලසුම් හා දිරි ගැන්වීම් බොහෝ සෙයින් බලපෑ බව නායිකා චමරි අතපත්තු පැවැසූවාය.

ඉන්දියාවේ නවී මුම්බායි පටීල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය නිමාවීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකාව ‍මේ බව සදහන් කළාය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල මුලින් පන්දුවට පහරදී ඕවර් 48. 4කදී සියලු දෙනා දැවී ලකුණු 202ක් ලබාගත් අතර, බංග්ලාදේශය ඕවර් 50කදී කඩුලු 9ක් දැවී ලකුණු 195කට සීමා විය. ලකුණු 194කට කඩුලු 5ක් බිඳ වැටී සිටි බංග්ලාදේශය අවසන් ඕවරයේදී ලකුණු 9ක් ලබාගත යුතුව තිබූ අතර, නායිකා චමරි අතපත්තු පන්දුව අතට ගෙන දුවද්දී දැවී යෑමක් ද සමඟ කඩුලු 4ක් බිඳහෙලා ගැනීමෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට සමත් විය.

“අපි හොඳින් පන්දුවට පහරදීම ආරම්භ කළා. නමුත් කඩුලු 4ක් දැවී ගියාම තරමක් පසු බැස්සා. පළමු ඉනිම අවසන් වුණාම පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා පැමිණ අපව දිරි ගැන්වූවා. පළමු ඉනිම දැන් ඉවරයි ඒ ගැන හිතන්න එපා. ධනාත්මකව පිටියට යන්න. සැලසුම් ක්‍රියාත්මක කරන්න කියා උපදෙස් දුන්නා. ඒ අනුව අපි ක්‍රියාත්මක වුණා“

“ ඇත්තම කියන්න ඕනෑ අපි පන්දුවට පහරදීමෙන් පස්සේ මම නම් පොසිටිව් හිටියේ නෑ. මම ටිකක් කලබලයෙන් හිටියේ. හැබැයි ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක කියන්නේ ගොඩක් ක්‍රිකට් ගහලා තියෙන පුහුණුකරුවෙකු හැටියට පළපුරුද්දක් තියෙන හරිම ‘කූල්‘ කෙනෙක්. ඔහුගේ ඒ හැකියාවෙන් තමයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ටීම් එක මේතරම් දුර ගෙනාවේ. මොකද මම මේ වෙලා‍වේ කියන්නම ඕනේ ශ්‍රී ලංකා  කාන්තා ක්‍රිකට් ටීම් එක අන්තිම අවුරුදු දෙක ගත්තහම අපි ගොඩක් හොදට ඉස්සරට ඇවිල්ලා තියෙනවා. හැබැයි බොහෝ කෙනෙක් දන්නේ නෑ ඊට අවුරුදු හතරකට පහකට කලින් කොතැනකද තිබුණේ කියලා. ඉතිං අන්තිම අවුරුදු දෙකේදී අපි දක්වපු දක්ෂතාවල ක්‍රෙඩිට් එක යන්න ඕනේ පුහුණුකරුට. ඔහු දන්නවා ටීම් එක ‍කොහොමද ඉදිරියට ගෙන යන්න ඕනේ කියලා. මම අදත් දැක්කා ඔහු ක්‍රීඩිකාවන්ගේ මානසිකත්වය වැඩි දියුණු කරන ආකාරය. වැටිලා ඉන්න වේලාවක ක්‍රීඩිකාවන්ගේ මානසිකත්වය නඟා සිටුවන්න පුහුණුකරුට පුළුවන් නම් එකයි විය යුත්තේ. හැ‍මෝම හිතනවා ක්‍රීඩිකාවන්‍ගේ දක්ෂතා වර්ධනය පමණයි පුහුණුකරු අතින් වෙන්න ඕනේ කියලා. ඔහු දන්නවා ක්‍රීඩිකාවන්ගේ හදවතට කතා කරන්න. එ‍හෙම නොවුණා නම් අද තරගයේ අපිට මෙතරම් දුරක් එන්න බෑ. ඒ නිසා මේ තරගයේ ක්‍රෙඩිට් එක පුහුණුකරුට ‍දෙන්න ඕනේ“ චමරි අතපත්තු පැවැසූවාය.

“අ‍පේ පිතිකරණය ගැන සතුටු වෙන්න බෑ. අපි හොද ආරම්භයක් ගත්තත් අවශ්‍ය විදිහට හොඳ අවසානයකට එන්න බැරි වුණා. නමුත් අපේ පන්දු යැවීමේ අංශය ඉතා හොඳින් ක්‍රියාත්මක වුණා. අපි වෘත්තීය කණ්ඩායමක්. වෘත්තීය ක්‍රීඩිකාවෝ. නිදහසට කරුණු කියන්න බෑ. අපි ඒ අවස්ථාවේ පවතින තත්ත්වයට උචිත ‍ලෙස අනුවර්තනය වෙන්න ඕනේ. ඒකයි වෘත්තීයභාවය. අන්තිම ඕවරය නිසා මම මගේ කණ්ඩායමේ අයට කතා කළා. ප්‍රබෝධනී අපේ ජ්‍යෙෂ්ඨතම පන්දු යවන ක්‍රීඩිකාව. මම ඇහුව්වා ඔයාට අවසන් ඕවරය යවන්න පුළුවන්ද කියලා. එයා කිව්වා මේ වේලාවේ අවසන් ඕවරය යවන්න හොඳ මම කියලා. මට ඒ නිසා තවත් විශ්වාසය වැඩි වුණා. නමුත් කණ්ඩායම ක්‍රීඩා කළ ආකාරය ගැන සතුටු වෙන්නේ නෑ. අපි  හොඳ කණ්ඩායමක්“

“සුගන්ධිකා 49 වැනි ඕවරය ඉතා හොඳින් යැව්වා. එයා බංග්ලාදේශයට පීඩනය වැඩි කළා. 49 වැනි ඕවරය වෙද්දී අපිට තිබුණේ සියයට 25ක විතර අවස්ථාවක් දිනන්න. නමුත් ඇය දුන් පීඩනය හමුවේ අන්තිම ඕවරයේදී අපට දිනන්න පුළුවන් කියා දැණුනා. මොකද බංග්ලාදේශ ක්‍රීඩිකාවන් හරහට පහර එල්ල කරන්න ගොඩක් ආසයි කියලා මම දැනගෙන හිටියා. ස්විප් පහරවල්, ස්ලොග් එක, කට් ෂොට් එහෙම. නමුත් ජෝතිට විතරයි කෙළින් පහරවල් එල්ල කරලා ක්‍රීඩා කරන්න පුළුවන් කියලා අපේ ක්‍රීඩිකාවෝ මා ළඟට ඇවිත් කිව්වා. මොකද ජෝති තව පන්දු කිහිපයක් ක්‍රීඩා කළා නම් තරගය අපෙන් ගිලිහෙනවා. ඉතින් අපි අපේ සැලැස්ම නියම වෙලාවට ක්‍රියාත්මක කළා. අන්තිම ඕවරයේදී මම මගේ සැලැස්ම ක්‍රියාත්මක කළා. ජෝති ලොන්ග්ඕෆ්, ලොන්ග් ඕන් කියන පැත්තට පහර එල්ල කරන නිසා එතැනට උඩ පන්දුවක් ගහන්න පන්දු යවා දවා ගත්තා“

ලෝක කුසලාන තරගාවලියේ ඉදිරිය කෙබඳු වන්‍නේද? යන්න මාධ්‍යවේදියෙකු නෑගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් චමරි  “අපි ඉන්දියාවේදී තරග දෙකක් ක්‍රීඩා කළා. ශ්‍රී ලංකාවේ තරග 4ක් ක්‍රීඩා කරලා දෙකක් වර්ෂාවට සේදී ගියා. දෙකක් පරාජය වුණා. සියලු තරගවලට වැස්ස බලපෑම් කළා. නමුත් අපට කාලගුණික තත්ත්වය පාලනය කරන්න බෑ. ඒ නිසා මම මගේ කණ්ඩායමට කිව්වා වෘත්තීය කණ්ඩායමක් ලෙස අපට පාලනය කළ හැකි දේ පාලනය කරන්න කියලා. අපට කිසිදු නිදහසට කරුණක් කියන්න බෑ. තවත් එක් තරගයක් ඉතිරිව තියෙනවා. අපි අපේ උපරිම උත්සාහය කරනවා උසස් තැනකින් නිමා කරන්න. අපි අවසන් පූර්ව වටයට ගියොත් එය ආශ්චර්යයක්. ඉදිරියේදී බලමු“ ඇය සිනහ සෙමින් පැවැසූවාය.

“හසිනි ඉතා හොඳින් පන්දුවට පහර දුන්නා. අවාසනාවකට ඇයට තරග කිහිපයකදීම එක්දින ලකුණු 50ක් ගහන්න බැරිව හිටියා. ලකුණු 50 ළඟටම ඇවිත් දැවී ගියා. අපි වාසනාවන්තයි ඇයගේ ඉනිම ලැබුණ නිසා. මා හිතනවා ඉදිරියේදී ඇය ඉතාම හොඳින් ක්‍රීඩා කරයි කියලා. ඇයට වයස අවුරුදු 29ක් නිසා ඊළඟ තරගයේදී සහ අනාගතයේදීත් ඇයගේ හොඳම දස්කම් පවත්වා ගැනීමට හැකි වෙනවා. ඇයට ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් අවුරුදු 5ක් 6ක් ක්‍රීඩා කළ හැකියි. මම ඇයව සැමවිටම විශ්වාස කරනවා. මම ලකුණු 4000ක් ගැහුව්වත් මගේ ආසාව කුමන හෝ අංශයකින් ලෝක කුසලාන අවසන් පූර්ව වටයට එන්න. මම ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට පෙර එය දකින්න ආසයි. මම මගේ දක්ෂතාව විශ්‍රාම යනතුරු රට වෙනුවෙන් දෙනවා“ චමරි අතපත්තු පැවැසූවාය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee