slc
logo
Home   |    News
නොවැම්බර් 3, 2025
ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ බාලිකාවන්ට කඩුලු පහක ජයග්‍රහණයක්

sinhala editor

 මලයාසියාවේ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ බාලිකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේ දී අද (02) පැවැති ප්‍රථම විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා 19න් පහළ බාලිකා කණ්ඩායම කඩුලු පහක ජයක් ලැබීය.

 මුලින් පන්දුවට පහර දුන් මලයාසියානු ජාතික කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු හතකට රැස් කළ ලකුණු 110ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා 19න් පහළ බාලිකා කණ්ඩායම කඩුලු පහක් දැවී ලකුණු 113ක් රැස් කළේ පන්දුවාර 18ක් අවසානයේ දී ය.

 ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම ලකුණු 111ක ජයග්‍රහණ ඉලක්කයක් කරා යාමට පිටියට පිවිසි අවස්ථාවේ ලකුණු 36කට ඉදිරිපෙළ පිතිකාරිණියන් සිව්දෙනෙකුම දැවී කණ්ඩායම පත් වුයේ අසීරු තත්ත්වයකටය.

 මේ අවස්ථාවේ පස්වන කඩුල්ලට ශෂිනිගිම්හානි (12) සහ විමෝක්ෂා බාලසූරිය (නොදැවී 53) ලකුණු 27ක (පන්දු 29ක දී) සබඳතාවයක් ද හය වන කඩුල්ලට විමෝක්ෂා බාලසූරිය සහ ලිමංසා තිලකරත්න (නොදැවී 19) ලකුණු 50ක (පන්දු 38ක දී) සබඳතාවයක් ද තබා ගනිමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේ පන්දුවාර දෙකක් ද ඉතිරිව තිබිය දී ය.

 මෙහිදී වඩාත්ම කැපී පෙනුණු පිතිකාරිණිය වු ආරම්භක පිතිකාරිණිය විමෝක්ෂා බාලසූරිය නොදැවී ලකුණු 53ක් රැස් කළේ පන්දු 44කට මුහුණ දී හතරේ පහර අටක් ද එල්ල කරමිනි. විමෝක්ෂා ලකුණු 50ක් රැස් කළේ පන්දු 42ක දී ය.

 ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමේ කැපී පෙනුණු අනෙක් පිතිකාරිණිය වු අංක හත පිතිකාරිණිය ලිමංසා තිලකරත්න නොදැවී ලකුණු 19ක් රැස් කළේ පන්දු 20කට මුහුණ දී හතරේ පහර තුනක් ද සමගය. ලිමංසා ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයකු වන තිලකරත්න දිල්ෂාන්ගේ දියණියයි.

 තරගය ආරම්භයේ දී කාසියේ වාසිය දිනු මලයාසියානු නායිකාව මාක් එලිසා යස්මින් තීරණය කළේ මුලින් පන්දුවට පහරදීමටය.

  මලයාසියානු ජාතික කාන්තා කණ්ඩායම වෙනුවෙන් මහිරා ඉස්මයිල් ලකුණු 31ක් ද (පන්දු 31යි හතරේ දෙකයි) අයිනා නජ්මා ලකුණු 27ක් ද (පන්දු 30 හතරේ හතරයි) නුර් ඩානානි ලකුණු 17ක් ද (පන්දු 18යි හතරේ දෙකයි) රැස් කළහ.

 පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා බාලිකාවන් අතුරින් කැපී පෙනුණු දකුණත් වේග පන්දු යවන මිතලි අයෝධ්‍යා පන්දුවාර හතරක් යවා ලකුණු 9කට කඩුලු තුනක් දවාලුවාය. දකුණතින් පාදඟ පන්දු යවන ලිමංසා තිලකරත්න ලකුණු 11කට කඩුල්ලක් ද දකුණතින් පාදඟ පන්දු යවන අසේනි තලගුණේ ලකුණු 15කට කඩුල්ලක් ද දවාලුහ.

ලකුණු විස්තරය

 මලයාසියානු ජාතික කාන්තා කණ්ඩායම පන්දුවාර 20ක දී කඩුලු 7ට 110

 (මහිරා ඉස්මයිල් 31, අයිනා නජ්මා 27, නුර් ධානානි 17, තරියානි නට්සෙ 11, මිතලි අයෝධ්‍යා 9/3, ලිමංසා තිලකරත්න 11/1, අසේනි තලගුණේ 15/1)

 ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම පන්දුවාර 18ක දී කඩුලු 5ට 113

 (විමෝක්ෂා බාලසූරිය නොදැවී 53, ලිමංසා තිලකරත්න නොදැවී 19, සංජානා කාවින්දි 14, ශෂිනි ගිම්හානි 12, අයිස්යා එලීසා 38/2යි)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee