slc
logo
Home   |    News
පෙබරවාරි 23, 2026
සුපිරි අට වටයේ පළමු තරගයෙන් එංගලන්තයට ලකුණු 51ක ජයක්

sinhala editor

අයි.සී.සී. පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවූ පළමු තරගයෙන්ම එංගලන්තය හමුවේ ලකුණු 51 ක පරාජයකට අද (22 දා) පස්වරුවේදී මුහුණ දුන්නේය. ඒ සමඟම එංගලන්ත කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ වැඩි ශුද්ධ ලකුණු වේගයක්ද සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමටද සමත්විය.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 146 කදී නතර කිරීමට දුනිත් වෙල්ලාලගේ ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවද පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිහරඹය මෙම දැවැන්ත පරාජයට ප්‍රධාන වශයෙන්ම බලපෑවේය. අවසානයේ මන්දගාමී වූ තණතිල්ලේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16.4කදී සියලු දෙනා ලකුණු 95කට දැවී ගියහ.

ජොෆ්රා ආචර් ආරම්භක ඕවරයේ දී පැතුම් නිශ්ශංක දවා ගනිමින් ඔවුන්ට අවශ්‍ය පසුබිම සකස් කළ අතර, විල් ජැක්ස්ගේ පිට දඟ පන්දු ශ්‍රී ලංකා ඉදිරි පෙළේ කොඳු නාරටිය කඩා දැමුවේය. 

ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු 5ක් ලකුණු 34ක් වෙද්දී දවා ගැනීමට ආරම්භක පන්දු යැවූ එංගලන්ත වේග පන්දු යවන ජොෆ්රා ආචර් හා දඟ පන්දු යවන විල් ජැක්ස් සමත් වූ අතර, පැතුම් ලකුණු 9කට, මිෂාර ලකුණු 6කට, කුසල් ‍මෙන්ඩිස් ලකුණු 4කට, පවන් රත්නායක ලකුණු බින්දුවකට හා දුනිත් වෙල්ලාලගේ ලකුණු 10ක් ලෙස එක පෝලිමට දැවී ගියහ.

පවර් ප්ලේ අවස්ථාවේ ශ්‍රී ලංකා පිල කඩුලු 4ක් දැවී ලකුණු 26ක් ලබාගෙන තිබූ අතර, ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට වෙහෙසුන නායක දසුන් ශානක එල්ල කළ වේගවත් පහරක් හත‍රේ සීමාවෙ අසලදී විල් ජැක්ස් රැකගෙන සීමාවෙන් පනින්නට පෙර ටොම් බැන්ටන් වෙත විසිකොට උඩ පන්දුව සාර්ථකවී දැවී යෑම ශ්‍රී ලංකා පිලට බලවත් පහරක් විය. දැවී යද්දී දසුන් ශානක පන්දු 24කදී හයේ 2ක් හා හතරේ පහරක් එල්ලකොට තිබිණි.

‍කෙසේ වුවද ශ්‍රී ලංකා පිල පන්දු රකිද්දී එංගලන්තයට අභියෝග ගණනාවක් එල්ල කිරීමට සමත් විය.දුනිත් වෙල්ලාලගේ ලකුණු 26කට කඩුලු 3ක් බිඳ දමමින් සිය කාර්ය ඉටු කළේය. ජොස් බට්ලර් සහ ජේකබ් බෙතෙල් පවර්ප්ලේ තුළ දැවීගිය අතර, ටොන් බෙන්ටම් ලකුණු 6කට හා නායක හැරී බෘෘක් ලකුණු 14කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

ආරම්භක පිතිකරු ෆිල් සෝල්ට් පන්දු 40කදී හයේ 2ක් හා හතරේ 6ක් සමඟ ලකුණු 62 ක් ලබා ගැනීම හැරුණු විට, එංගලන්ත පිතිකරුවෝ අසාර්ථක වූහ. ඩිල්ෂාන් මධුසංඛ, මහීෂ් තීක්ෂණ කඩුලු දෙක බැගින් හා දුනිත් වෙල්ලාලගේ කඩුලු 3ක් බිදහෙලා ගත්හ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබූ අතර, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පරාජය වූ තරගයේ ක්‍රීඩා කළ ප්‍රමෝද් මධුෂාන් වෙනුවට විවේක ගන්වා තිබූ දුෂ්මන්ත චමීර හා කුසල් පෙරේරා වෙනුවට කමිල් මිෂාර නැවත කණ්ඩායමට එක්ව සිටියහ.

එංගලන්තය පන්දුවාර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 146 යි – (පිල් සෝල්ට් 62, ජොස් බට්ලර් 07, ජෙකොබ් බෙතල් 03, ටොම් බැන්ටන් 06, හැරී බෘෘක් 14, සෑම් කරන් 11, විල් ජැක්ස් 21, ලියම් ඩෝසන් 06, ජැමී ඔවර්ටන් 10*, ජොෆ්‍රා ආචර් 00, අදිල් රශීඩ් 01*, දුනිත් වෙල්ලාලගේ 26/3, ඩිල්ෂාන් මදුශංක 25/2, මහීෂ් තීක්ෂණ 21/2, දුෂ්මන්ත චමීර 34/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 16.4 කදී සියලු දෙනා දැවී ලකුණු 95 යි – (දසුන් ශානක 30, කමිදු මෙන්ඩිස් 13, දුනිත් වෙල්ලාලගේ 10, මහීෂ් තීක්ෂණ 10*, ඩිල්ෂාන් මදුශංක 00, දුෂ්මන්ත චමීර 06, දුෂාන් හේමන්ත 05, පවන් රත්නායක 00, කුසල් මෙන්ඩිස් 04, කමිල් මිශාර 06, පැතුම් නිස්සංක 09, ජොෆ්‍රා ආචර් 20/2, විල් ජැක්ස් 22/3, ලියම් ඩෝසන් 27/2, අදිල් රශීඩ් 13/2, ජැමී ඕවර්ටන් 13/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar