ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අවුරුදු 23න් පහළ කාන්තා අන්තර් දිස්ත්‍රික්ක ක්‍රිකට් තරගාවලියේ අද (20) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති බස්නාහිර පළාතේ අන්තර් දිස්ත්‍රික්ක තරග දෙකේ දී ජයග්‍රහණ අත්කර ගත්තේ කොළඹ දකුණ දිස්ත්‍රික්ක කාන්තා කණ්ඩායම සහ කළුතර දිස්ත්‍රික්ක කාන්තා කණ්ඩායමයි.
කොළඹ දකුණ දිස්ත්‍රික්කය කඩුලු හතකින් පහසුවෙන් ගම්පහ දිස්ත්‍රික්කය පරාජය කරමින් ද කළුතර දිස්ත්‍රික්කය තියුණු තරගයකින් පසුව කොළඹ උතුර දිස්ත්‍රික්කය පරාජය කරමින් ද මෙදින ජයග්‍රහණ වාර්තා කළහ.
ගම්පහ දිස්ත්‍රික්ක කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9කට රැස් කළ ලකුණු 113ට පිළිතුරු ලෙස කොළඹ දකුණ දිස්ත්‍රික්කය කඩුලු තුනක් පමණක් දැවී ලකුණු 114ක් රැස් කළේ පන්දුවාර 19කට මුහුණ දෙමිනි. මේ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තේරුණු දහමි සෙනෙත්මා ගම්පහ ඉනිමේ දී ලකුණු 11කට ප්‍රබල කඩුලු දෙකක් බිඳ දැමුවාය.
කොළඹ උතුර කණ්ඩායම පන්දුවාර 20ක දී කඩුලු හතකට රැස් කළ ලකුණු 106ට පිළිතුරු ලෙස කළුතර දිස්ත්‍රික්ක කණ්ඩායම තියුණු තරගයක නියැළෙමින් පන්දුවාර 19.2ක දී ලකුණු 107ක් රැස් කර ජය ගත්තේ කඩුලු අටක් දැවී යාමෙන් පසුවය.
මේ තරගයේ දී දක්ෂ පිතිකරණයක නියැළුණු නවෝද්‍යා නෙත්මිණි පන්දු 33කට මුහුණ දී හතරේ පහර පහක් සමග ලකුණු 39ක් රැස් කිරීමට සමත් වුවාය. මේ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තේරුණේ ද නවෝද්‍යා නෙත්මිණිය.
තරග ප්‍රතිඵල
· කොළඹ දකුණ දිස්ත්‍රික්ක අවුරුදු 23න් පහළ කාන්තා කණ්ඩායම කඩුලු හතකින් ගම්පහ දිස්ත්‍රික්ක අවුරුදු 23න් පහළ කාන්තා කණ්ඩායම පරාජය කරයි
ගම්පහ දිස්ත්‍රික්ක අවුරුදු 23න් පහළ කාන්තා පිල පන්දුවාර 20ක දී කඩුලු 9ක් දැවී ලකුණු 113 – වනීෂා රුද්‍රිගෝ 35, දහමි සෙනෙත්මා 11/2, විශ්මි මලීෂා 11/1
කොළඹ දිස්ත්‍රික්ක අවුරුදු 23න් පහළ කාන්තා පිල පන්දුවාර 19ක දී කඩුලු 3ක් දැවී ලකුණු 114 – පබසර දෙව්මිණි 34, ෂෂානි පෙරේරා 30, දිමිති නාගසිංහ 25/1
· කළුතර දිස්ත්‍රික්ක අවුරුදු 23න් පහළ කණ්ඩායම කඩුලු 2කින් කොළඹ උතුර අවුරුදු 23න් පහළ කාන්තා කණ්ඩායම පරාජය කරයි
කොළඹ උතුර දිස්ත්‍රික්ක අවුරුදු 23න් පහළ කාන්තා කණ්ඩායම පන්දුවාර 20ක දී කඩුලු 7ක් දැවී ලකුණු 106 – යෙනුදි සත්නදී 31, ධනුජි ප්‍රනාන්දු නොදැවී 24, තෂ්මිලා රුවන්ති 21/2
කළුතර දිස්ත්‍රික්ක අවුරුදු 23න් පහළ කාන්තා කණ්ඩායම පන්දුවාර 19.2ක දී කඩුලු 8ක් දැවී ලකුණු 107 – නවෝද්‍යා නෙත්මිණි 39, හිමාෂා පෙරේරා 18/2, දුලංගා දිසානායක 11/1





