slc
logo
Home   |    News
අප්‍රේල් 26, 2026
දඹුල්ල පිලට විශාද් රන්දික හා අංජල බණ්ඩාර ශක්තියක් වෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙවත් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේදී දඹුල්ල පිලේ විශාද් රන්දික හා අංජල බණ්ඩාර ශතක ලබා දස්කම් දැක්වූ අතර, කොළඹ පිලේ නායක ජනිත් ලියනගේ ශතකයට ලකුණු 2ක් අඩුව තිබියදී දැවී ගියේය.

පසුගිය සති අන්ත‍යේ පැවැති දඹුල්ල – ගාල්ල අතර තරගයේදී ඉනිමක හා ලකුණු 41ක ජයක් වාර්තා කළ දඹුල්ල පිල හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව අද ‍දෙවැනි දින සිය පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 424ක් එක්කර ගැනීමට දඹුල්ල ක්‍රීඩකයෝ සමත් වූහ.

දඹුලු පිලේ මුල් කඩුලු 3ක් ලකුණු 36කට දැවීගොස් තිබියදී පිටි‍යේ එක්වූ විශාද් රන්දික හා ධනංජය ද සිල්වා එක්ව සිව්වැනි කඩුල්ලට පන්දු 191කදී ලකුණු 119ක් ලබාගත් අතර, ධනංජය ලකුණු 53කට දැවී ගියේය. අනතුරුව අංජල බණ්ඩාර හා විශාද් රන්දික එක්ව පස්වැනි කඩුල්ලට පන්දු 171කදී ලකුණු 97ක් එක්කළ අතර, විශාද් රන්දික පන්දු 177කදී හතරේ පහර 10ක් සමඟ ලකුණු 104ක් ලබා සිටියදී දැවී ගියේය.

ඉනිමේ සාර්ථක සබඳතාව හයවැනි කඩුල්ලට එක්කළ අංජල බණ්ඩාර හා කවිදු පතිරත්න එක්ව පන්දු 317කදී ලකුණු 161ක් එක්කළ අතර, අංජල බණ්ඩාර පන්දු 225කදී හතරේ පහර 8ක් සමඟ ලකුණු 128කට දැවී ගියේය. කවිදු පතිරත්න ලකුණු 71ක් ලබා සිටියේය.

පන්දු යැවීමේදී රවිඳු ප්‍රනාන්දු හා ජෙෆ්රි වැන්ඩර්සේ අතර කඩුලු 3ක් බැගින් බෙදීගිය අතර,  දිනුර කළුපහන කඩුලු 2ක් ලැබීය. අද තරගයේ තෙවැනි දිනයයි.

දඹුල්ල පිල පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 424 (ඕවර් 127)

ලසිත් කෘෘස්පුල්ලේ 22, ධනංජය ද සිල්වා 53, විශාද් රන්දික 104, අංජල බණ්ඩාර 128, කවිඳු පතිරත්න 78 ( දිනුර කළුපහන 86/2, රවිඳු ප්‍රනාන්දු 76/3, ජෙෆ්රි වැන්ඩර්සේ 48/3)

කොළඹ – ගාල්ල

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩංගණයේදී අද දෙවැනි දිනට නිමාවූ තරගයේ ගාල්ල පිල කඩුලු 7ක් දැවී ලකුණු 247ක් ලබා සිටියේය. කොළඹ පිල පළමු ඉනිමට ලකුණු 337ක් ලබා සිටි හෙයින් ගාල්ල කඩුලු 3ක් අතැතිව පළමු ඉනිමේ ලකුණු 90ක් පසුපසින් සිටී.

කොළඹ පිලේ නායක ජනිත් ලියනගේ පන්දු 155කදී හ‍යේ පහරක් හා හතරේ පහර 7ක් සමඟ ලකුණු 98ක් ලැබූ අතර, ඔහු කවීජ ගමගේ සමඟ එක්ව 6 වැනි කඩුල්ලට පන්දු 173කදී ලකුණු 89ක් එක් කළහ. 9 වැනි කඩුල්ලට කසුන් රාජිත හා ප්‍රමෝද් මධුෂාන් එක්ව පන්දු 91කදී ලකුණු 64ක් එක් කිරීමෙන් කොළඹ ලකුණු පුවරුව ශක්තිමත් විය.

ගාල්ල පිල පළමු ඉනිම ක්‍රියාත්මක කරද්දී ප්‍රමෝද් මධුෂාන් ලකුණු 33කට කඩුලු 3ක් බිදහෙලීමෙන් යම් තර්ජනයක් එල්ලවී තිබේ. එහෙත් එක් අන්තයක් ආරක්ෂා කරමින් සදීර සමරවික්‍රම ලකුණු 69ක් ලබා ගැනීමට සමත් විය.

කොළඹ පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු337 (ඕවර් 97.2)

රවිඳු රසාන්ත 32, අසිත වන්නිනායක 12, ජනිත් ලියනගේ 98, කවීජ ගමගේ 40, ප්‍රභාත් ජයසූරිය 24, ප්‍රමෝද් මධුෂාන් 28, කසුන් රාජිත 31 (උදිත් මධුෂාන් 30/2, අසංක මනෝජ් 63/2, කේසර නුවන්ත 99/2, මුදිත ලක්ෂාන් 63/3)

ගාල්ල පිල පළමු ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 247 (ඕවර් 71)

ඔෂධ ප්‍රනාන්දු 39, ෂෙහාන් ප්‍රනාන්දු 45, සදීර සමරවික්‍රම 69, ‍කවින් පෙරේරා 34, මුදිත් ලක්ෂාන් 34 (ප්‍රමෝද් මධුෂාන් 33/3, කවීජ ගමගේ 40/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee