slc
logo
Home   |    News
අප්‍රේල් 3, 2026
බාළිකාවෝ ඔස්ට්‍රේලියාව බලා යති – තරගාවලිය ගැන විශ්වාසයක් තියෙනවා – චමෝදි

sinhala editor

ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම අප්‍රේල් මස 02 වැනිදා පස්වරුවේදී කටුනායක ගුවන්තොටුපොළින් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව එම තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා බාළිකා ක්‍රීඩිකාවෝ පිටත්ව ගියහ. පිටත්ව යෑමට ප්‍රථම නායකත්වය දරන චමෝදි ප්‍රබෝධා තම කණ්ඩායමේ ශක්තිය සහ සූදානම පිළිබඳ විශ්වාසය පළ කරමින් සඳහන් කර සිටියේ, දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් මෙන්ම සුපිරි පළාත් මට්ටමින් ක්‍රීඩා කර ඇති අත්දැකීම් සහිත ක්‍රීඩිකාවන් තම කණ්ඩායම සතු බව සඳහන් කර සිටියේය.

මොණරාගල ප්‍රදේශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූ චමෝදි කුඩා වයසේ සිටම විශිෂ්ට දඟ පන්දු යවන්නියක වීමට සමත්වූවාය. ඇය වයස අවුරුදු 14 වන විටම ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කිරීමට තරම් දක්ෂතා දැක්වීමට සමත්වූවාය.  ඇයගේ එම හැකියාව සහ අඛණ්ඩ ප්‍රගතිය හේතුවෙන් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායකත්වයද ඇයට හිමිව තිබේ.

ඔස්ට්‍රේලියානු තරග සංචාරයට ඇතුළත්ව සිටින කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් 8 දෙනෙකුම නවක ක්‍රීඩිකාවන් ලෙසින් ඇතුළත්ව සිටියි. එහෙත් ඉහතින් සඳහන් කළ ආකාරය, දිස්ත්‍රික්, පළාත් මෙන්ම සුපිරි පළාත් තරගාවලියන්ට ක්‍රීඩා කිරීම හරහා වර්තමාන කණ්ඩායමේ සිටින බොහෝමයක් ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ දක්ෂතා මුවහත් කරගැනීමට අවස්ථාව උදාවී තිබේ.

මෙහිදී නායකත්වයේ භූමිකාව භාරගැනීමේදී මුල් අවධියේ බියක් දැනුණද, ජාතික කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ගේ සහාය, විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක වන හර්ෂිතා සමරවික්‍රමගේ උපදෙස් ඇයගේ විශ්වාසයට හේතුවූ බව මෙහිදී සඳහන් කර සිටියාය.

“අපි ජාතික කණ්ඩායමේ අක්කලා එක්ක හොඳට ක්‍රීඩා කළා. ඒ අත්දැකීම නිසා තමයි අපිට මේ තරගාවලිය ගැන විශ්වාසයක් තියෙන්නේ” යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

එසේ වුවද, ඔස්ට්‍රේලියාවේ තණතිලි සහ තත්ත්වයන් ශ්‍රී ලංකාවේ තත්ත්වයන්ට වඩා වෙනස් වන බැවින්, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව යන කණ්ඩායම් අඩු ලෙස නොසලකා බැලිය යුතු බවද ඇය අවධාරණය කළාය. “කන්ඩිෂන් වෙනස්. ඒත් අපි ඒකට හුරු වෙන්න පුළුවන්. ඒ කණ්ඩායම් දෙකම අපි සුළුවට ගන්නෙ නැහැ” යැයි ඇය පැවසුවාය.

වයසට වඩා පරිණත අදහස් සහ නායකත්ව ලක්ෂණ ප්‍රදර්ශනය කරන චමෝදි ප්‍රබෝධාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායම මෙම තරගාවලියට සූදානමින් සිටී.

මෙම තරගාවලිය තුළ ශ්‍රී ලංකාව, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව යන කණ්ඩායම් අතර තරඟ කිහිපයක් පැවැත්වීමට නියමිත අතර, එය තරුණ ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ජාත්‍යන්තර මට්ටමින් ප්‍රදර්ශනය කිරීමට වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ.

ශ්‍රී ලංකා 19 න් පහළ බාළිකා කණ්ඩායම – චමෝදි ප්‍රබෝධා (නායිකා – පඤ්ඤාඥානන්ද මහා විද්‍යාලය,  මොනරාගල), විමෝක්ෂා බලසූරිය (සිංහල මහා විද්‍යාලය, ත්‍රිකුණාමලය), සංජනා කාවින්දි (දේවපතිරාජ විද්‍යාලය, රත්ගම), උමයංගනා පීරිස් (වේල්ස් කුමරි විදුහල, මොරටුව), නෙතගි ඉසුරාංජලි (දේවපතිරාජ විද්‍යාලය, රත්ගම), ශෂිනි ගිම්හානි (දේවපතිරාජ විද්‍යාලය, රත්ගම), ප්‍රමුදි මෙත්සරා (උහන ජාතික පාසල, අම්පාර), ලිමන්සා තිලකරත්න, නෙත්මි උපේක්ෂා (මලියදේව බාලිකා විද්‍යාලය, කුරුණෑගල), අසේනි තලගුනේ (මහමායා බාලිකා විද්‍යාලය, මහනුවර), චමෝදි හේරත් (අනුර විද්‍යාලය, මාතර), දනෝද්‍යා සෙව්මිණි (අනමඩුව මධ්‍ය මහා විද්‍යාලය, පුත්තලම), යේශාලි ජිතාරා (අනූලා විද්‍යාලය, නුගේගොඩ), ඩාරියා දිසානායක (කාන්තා විද්‍යාලය, කොළඹ), ශයනි තෙන්නකෝන් (රාජකීය විද්‍යාලය, පොලොන්නරුව)

තරග කාලසටහන

අප්‍රේල් 07 – ශ්‍රී ලංකාව – එංගලන්තය අතර ඕවර 50 තරගය – ඉයන් හීලී ඕවල් – බ්‍රිස්බේන් – පෙ.ව. 9.30

අප්‍රේල් 08 – ශ්‍රී ලංකාව – ඔස්ට්‍රේලියාව අතර ඕවර 50 තරගය – ඉයන් හීලී ඕවල් – බ්‍රිස්බේන් – පෙ.ව. 9.30

අප්‍රේල් 12 – ශ්‍රී ලංකාව – එංගලන්තය අතර විස්සයි-20 තරගය         – බිල් පිපෙන් ඕවල් – ගෝල්ඩ් කෝස්ට් – පෙ.ව. 9.00

අප්‍රේල් 13 – ශ්‍රී ලංකාව – ඔස්ට්‍රේලියාව අතර විස්සයි-20 තරගය – බිල් පිපෙන් ඕවල් – ගෝල්ඩ් කෝස්ට් – පෙ.ව. 9.00

අප්‍රේල් 17 – ශ්‍රී ලංකාව – එංගලන්තය අතර විස්සයි-20 තරගය – ඉයන් හීලී ඕවල් – බ්‍රිස්බේන් – පෙ.ව. 5.30

අප්‍රේල් 18 – ශ්‍රී ලංකාව – ඔස්ට්‍රේලියාව අතර විස්සයි-20 තරගය – ඉයන් හීලී ඕවල් – බ්‍රිස්බේන් – පෙ.ව. 5.30

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee