slc
logo
Home   |    News
අප්‍රේල් 13, 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන වැඩපිළිවෙළට මහත් ගෞරවයක් ලබා දෙමින් ශ්‍රී ලංකා යෞවනියෝ පිට පිටම 7 වැනි වතාවටත් ඔස්ට්‍රේලියාව පරදවති

sinhala editor

ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකා, එංගලන්ත සහ ඔස්ට්‍රේලියා යොවුන් කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම අද (13 දා) පිට පිටම දෙවැනි තරග ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය.

ගෝල්ඩ් කෝස්ට් නුවර බිල් පිපේන් ඕවල් පිටියේ පැවැති මෙම තරගයේදී සත්කාරක ඔස්ට්‍රේලියානු යොවුන් කාන්තා කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කරමින් විස්සයි-20 තරග අංශයේ තම අපරාජිතභාවය තවදුරටත් රැක ගැනීමට චමුදි ප්‍රබෝධාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම සමත්විය.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියානු යොවුන් කාන්තා කණ්ඩායම් අතර විස්සයි-20 තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවට එරෙහිව පිට පිටම ජය වාර්තා කළ 7 වැනි අවස්ථාව ලෙසද වාර්තා පොත් අතරට එක්විය. මීට පෙර මැලේසියාවේ පැවැති වයස අවුරුදු 19 න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති තරගයේදීද ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල ඔස්ට්‍රේලියානු යොවුන් බාලිකා පිල පරාජයට පත් කිරීමට සමත් විය. ඊට අමතරව ඉකුත් සැප්තැම්බර් මාසයේදී පැවැති ඔස්ට්‍රේලියානු බාලිකා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යටතේ පැවැති තරග 5 කින් සමන්විත තරගාවලිය 5-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම සමත් විය. එම තරගාවලියෙන් පසු දෙපිළ විස්සයි20 තරගයකදී මුණගැසුණු පළමු අවස්ථාව වන්නේ අද පැවැති මෙම තරගයයි.

ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ නිරන්තර වර්ධනය සහ කණ්ඩායම් හැකියාවන් ඉහළ යාම පැහැදිලි කරනු ලබන අවස්ථාවක් ලෙසද හැඳින්විය හැක. මෙවැනි ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික ක්‍රිකට් සංවර්ධන ගමන් මඟ ‘ක්‍රිකට් ගමට’ වැඩසටහනේ පුහුණු ව්‍යුහයන් හා ග්‍රාමීය මට්ටමින් සිදුකරනු ලබන දක්ෂතා ගවේෂණ වැඩසටහන්වල ප්‍රතිඵලයක් ලෙසද දැක්විය හැක. විශේෂයෙන්ම කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයේදී නව පරපුරක් ගොඩනැගීමට ගත් උත්සාහයන් මේ ජයග්‍රහණය තුළින් ප්‍රකට වේ.

කාසියේ වාසිය තමන් සතුකරගත් සත්කාරක ඔස්ට්‍රේලියානු පිල පළමුව පන්දුවට පහර දීමට තීරණය කළද, පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 91 ක් පමණක් රැස් කළහ. ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නියන් අතරින් යළිත් වරක් කැපී පෙනුණු ලිමන්සා තිලකරත්න පන්දුවාර 4 කදී ලකුණු 26 ක් ලබා දෙමින් කඩුලු 3 ක් බිඳ හෙළුවාය. ඇයට අමතරව නායිකා චමුදි ප්‍රබෝධා පන්දුවාර 4 කදී ලකුණු 21 කට කඩුලු 2 ක් බිඳ හෙළුවාය. ඊට අමතරව දනෝද්‍යා සෙව්මිණී, අසේනි තලගුණේ සහ ශෂිනි ගිම්හානි කඩුල්ල බැගින් බිඳ හෙළූහ.

ඉලක්කය හඹා යෑමේදී සංජනා කාවින්දි (9), විමෝක්ෂා බාලසූරිය (0) සහ උමයංගනා පීරිස් (0) තිදෙනාම ලකුණු 4 ක් තුළ දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 28 කට කඩුලු 3 ක් ලෙස දැක්වුණි. එහෙත් මැද පෙළින් පිවිසි දනෝද්‍යා සෙව්මිණී (14) සහ ලිමන්සා තිලකරත්න (12) එක්ව ලකුණු පුවරුව 63 දක්වා ඉහළ දැමූහ. කෙසේ වෙතත් කඩුලු 6 ක් දවා ගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නියෝ සමත්වූහ.

එහෙත් පසුපෙළින් පිවිසි ප්‍රමුදි මෙත්සරා හතරේ පහර 2 ක් සමඟින් පන්දු 17 කදී නොදැවී ලකුණු 21 ක් රැස් කරමින්, පන්දුවාර 19.2 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 92 ක් ලබා ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ලබා දුන්නාය. පන්දුවාර 3 ක් යවා ලකුණු 9 කට සීමා කරමින් දැක්වූ දක්ෂතාවය හේතුවෙන් ඇය තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද නම් කෙරුණාය.

ඔස්ට්‍රේලියානු යොවුන් කාන්තා කණ්ඩායම – පන්දුවාර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 91 යි

(අයිලා ජොන්සන් 18, එමිලි පවෙල් 10, ඇලීසා ඩර්මොඩි 13, අවුරෝරා මේවර්ස් 12*, ලිමන්සා තිලකරත්න 26/3, චමුදි ප්‍රබෝධා 21/2, දනෝද්‍යා සෙව්මිණී 13/1, අසේනි තලගුණේ 13/1, ශෂිනි ගිම්හානි 9/1)

ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම – පන්දුවාර 19.2 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 92 යි

(ප්‍රමුදි මෙත්සරා 21*, දනෝද්‍යා සෙව්මිණී 14, ලිමන්සා තිලකරත්න 12, අරා අයිරි 13/2, අවා ඩ්‍රෘරි 14/1, ෆිලිපා සූසේ 18/3)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee