ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙවත් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේදී නැගී එන යොවුන් ක්‍රීඩක සාරුජාන් සංන්මුගනාදන් මාස 4ක් තුල පළමු පෙළ තරගවලදී සිය හතර වැනි ශතකය සම්පූර්ණ කිරීමට අද සමත් වූවේය.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩංගණයේ අද දෙවැනි දිනට පැවැති කොළඹ – මහනුවර අතර තරගයේදී 19 හැවිරිදි සාරුජාන් සංමුගනාදන් පන්දු 338කදී හතරේ පහර 10ක් හා හයේ පහරක් සමඟ ලකුණු 145ක් ලබා ගැනීමට සමත් විය. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ටැමිල් යූනියන් පිලට ක්‍රීඩා කරමින් බඳුරලිය පිලට එරෙහිව ලකුණු 123ක්, කුරුණෑගලට එරෙහිව නොදැවී ලකුණු 122ක් හා ඒස් කැපිටල් පිලට එරෙහිව නොදැවී ලකුණු 103ක් ලබා ගැනීමට සන්මුගනාදන් සමත් විය.
කොළඹ පිලේ මුල් කඩුලු 4ක් ලකුණු 32ක් තුල දැවීගොස් තිබියදී පිටියේ එක්වූ ජනිත් ලියනගේ හා සාරුජාන් සංමුගනාදන් 5 වැනි කඩුල්ලට ලකුණු 232ක සබඳතාවයක් ගොඩනැගීමෙන් කොළඹ කණ්ඩායමේ පළමු ඉනිමේ ලකුණු පුවරුව කඩුලු 9කට ලකුණු 434ක්ව තිබියදී අත්හිටුවිය.
පළමු ඉනිම ක්‍රීඩා කරන මහනුවර පිල දෙවැනි දිනය නිමාවෙද්දී කිසිවෙකු නොදැවී ලකුණු 6ක් ලබා සිටියේය.
කොළඹ පිලේ නායක ජනිත් ලියනගේ පන්දු 247කට මුහුණදී හතරේ පහර 13ක් සමඟ ලකුණු 134ක් වාර්තා කිරීමට සමත් විය. කවීජ ගමගේ හා සන්මුගනාදන් එක්ව 6 වැනි කඩුල්ලට පන්දු 244කදී ලකුණු 131ක් එක්කළ අතර, ගමගේ ලකුණු 80ක් ලැබීය.
කාසියේ වාසිය දිනාගත් කොළඹ පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළද මහනුවර පිලට ක්‍රීඩා කරන දිනුර කළුපහන ඉක්මණින් කඩුලු 3ක් දවා ගැනීමට සමත්වූ අතර, අද දිනයේ තවත් කඩුල්ලක් බිදහෙලා ගත්තේය.
කොළඹ පිල පළමු ඉනිම කඩුලු 9ක් දැවී (ඉනිම අත්හිටෙව්වා) ලකුණු 434 (ඕවර් 143.2)
රවිඳු රසාන්ත 14, ජනිත් ලියනගේ 134, සාරුජාන් සංමුගනාදන් 145, කවීජ ගමගේ 80, ප්‍රභාත් ජයසූරිය 25 (දිනුර කළුපහන 58/4, චාමික ගුණසේකර 53/2)
මහනුවර පිල පළමු ඉනිම කිසිවෙකු නොදැවී ලකුණු 6 (ඕවර් 2)
නවෝද් පරණවිතාන නොදැවී 2, පවන්ත වීරසිංහ නොදැවී 4
දඹුල්ල පළමු ඉනිමේ ලකුණු 106ක් ඉදිරියෙන්
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දඹුල්ල – ගාල්ල අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් ගාල්ල පිල මුලින් පන්දුවට පහරදී රැස්කළ ලකුණු 255ට පිළිතුරු ලෙස දඹුල්ල පිල පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 361ක් ලබා සිටි හෙයින් පළමු ඉනිමේ දඹුල්ල පිල ලකුණු 106කින් ඉදිරියෙන් සිටියේය.
අද දෙවැනි දිනේ දඹුල්ල පිල වෙනුවෙන් අගනා පිතිකරණයක නිරත වූ ලසිත් කෘෘස්පුල්ලේ පන්දු 173කදී හයේ පහරක් හා හතරේ පහර 12ක් සමඟ ලකුණු 133ක් ලබාගත් අතර, නායක ධනංජය ද සිල්වා පන්දු 91කදී හතරේ 8ක් සමඟ ලකුණු 62ක් ලබා ගැනීමට සමත් විය. කෘෘස්පුල්ලේ විසින් නවීන් බණ්ඩාර සමඟ එක්ව දෙවැනි කඩුල්ලට පන්දු 99කදී ලකුණු 91ක් හා ධනංජය ද සිල්වා සමඟ එක්ව තෙවැනි කඩුල්ලට පන්දු 179කදී ලකුණු 117ක සබඳතාවක් ගොඩනැගීය.
අද දෙවැනි දිනට තරගය නතර කරද්දී දඹුල්ල පිලේ විශාද් රන්දික ලකුණු 55ක් හා අංජල බන්ඩාර නොදැවී ලකුණු 51ක් ලබා සිටියහ.
දඹුල්ල පිලේ කවිඳු පතිරත්න ලකුණු 41කට කඩුලු 5ක් බිදහෙලමින් තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වෙද්දී ගාල්ල පිලේ නායක අංක 4 පිතිකරු සදීර සමරවික්‍රම එක් අන්තයකින් කඩුල්ල ආරක්ෂා කරගනිමින් පන්දු 169කට මුහුණදී හතරේ පහර 13ක් සමඟ නොදැවී ලකුණු 113ක් ලබා ගැනීමට සමත් විය.
ගාල්ල පිල සියලු දෙනා දැවී ලකුණු 255 (ඕවර් 71.4)
නිරෝෂන් දික්වැල්ල 28, සදීර සමරවික්‍රම නොදැවී 113, අහන් වික්‍රමසිංහ නොදැවී 70, මුදිත ලක්ෂාන් 20 ( විශ්ව ප්‍රනාන්දු 40/2, කවිඳු පතිරත්න 41/5, ශක්ති උදාර 80/2)
දඹුල්ල පිල කඩුලු 5ක් දැවී ලකුණු 361 (ඕවර් 91)
ලසිත් කෘෘස්පුල්ලේ 133, කවීන් බණ්ඩාර 44, ධනංජය ද සිල්වා 62, විශාද් රන්දික 55, අංජල බණ්ඩාර නොදැවී 51 (උදිත් මධුෂාන් 76/2 )





