ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 6 වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය මෙවරත් ජූලි මස 17 වැනිදා උත්සවාකාරයෙන් ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ සමාරම්භක උළෙල, ඉකුත් වසරේ ශූරයන් සහ අනුශූරයන් වන ජැෆ්නා සහ ගෝල් කණ්ඩායම් අතර පැවැත්වෙන ආරම්භක තරගයට පෙර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙවර තරගාවලියද කණ්ඩායම් 5ක සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර, ජැෆ්නා, ගෝල්, කලම්බු, කැන්ඩි සහ දඹුල්ල යන කණ්ඩායම් ඒ සඳහා එක්වී සිටී. තරග 24කින් සමන්විත සමස්ත තරගාවලියේ සියලුම තරග පස්වරු 3.00ට සහ රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය.
මෙම තරගාවලියේ සියලුම තරග රංගිරි දඹුල්ල, පල්ලෙකැලේ, කොළඹ එස්. එස්. සී. සහ ආර්. ප්‍රේමදාස යන ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිත අතර, අවසන් මහ තරගය ඇතුළු පිළිමළුන් පිටුදැකීමේ වටයේ තරග හතරම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් හතර පිළිමළුන් පිටුදැකීමේ තරග වටය සඳහා සුදුසුකම් ලබයි. ඒ අනුව අගෝස්තු 05 වැනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පළමු හා දෙවන ස්ථාන හිමි කණ්ඩායම් අතර පළමු සුදුසුකම් ලැබීමේ තරගය (Qualifier 1) පැවැත්වෙන අතර, එදිනම පස්වරුවේ තෙවන හා සිව්වන ස්ථාන හිමි කණ්ඩායම් අතර එලිමිනේටර් (Eliminator) තරගයද පැවැත්වේ.
අගෝස්තු 07 වැනිදා දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගය (Qualifier 2) පැවැත්වීමට නියමිත අතර, එහිදී පළමු සුදුසුකම් ලැබීමේ (Qualifier 1) තරගයේ පරාජිත කණ්ඩායම සහ එලිමිනේටර් (Eliminator) තරගයේ ජයග්‍රාහී කණ්ඩායම අතර තරගය පැවැත්වේ.
තරගාවලියේ අවසන් මහ තරගය අගෝස්තු 08 වැනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. තරගාවලියේ සුවිශේෂී අංගයක් ලෙස, අවසන් මහ තරගයට වර්ෂාවෙන් බාධා පැමිණියහොත් ඊට පසු දින අතිරේක දිනයක් ලෙස නම් කර ඇත.






