නායිකා චමරි අතපත්තුගේ අගනා ලකුණු 94ක ඉනිමත්, විශ්මි ගුණරත්නගේ නොදැවී ලකුණු 63ක දක්ෂ පිතිහරඹයත් හේතුවෙන් 10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැති පළමු පුහුණු තරගයේදී පාකිස්තාන කාන්තා කණ්ඩායම කඩුලු 9කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. එංගලන්තයේ ඩර්බි නුවරදී ජූනි 6 වැනිදා පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිය ශක්තිය පැහැදිලිව ප්‍රදර්ශනය කළහ.
කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායිකා ෆාතිමා සනා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 168ක් රැස් කළහ. පාකිස්තාන ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් මුනීබා අලි සහ ගුල් ෆෙරෝසා පළමු කඩුල්ල සඳහා ලකුණු 60ක සබඳතාවක් ගොඩනැගූහ. මුනීබා අලි ලකුණු 36ක් සහ ගුල් ෆෙරෝසා ලකුණු 26ක් ලබාගත් අතර, නායිකා ෆාතිමා සනා පන්දු 26කින් ලකුණු 37ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළාය. අලියා රියාස් ද ලකුණු 22ක් ලබා කණ්ඩායමට සහාය දැක්වූවාය.
ශ්‍රී ලංකා පන්දු යැවීමේදී චේතනා විමුක්ති විශිෂ්ට දස්කම් දක්වමින් ලකුණු 31කට කඩුලු 4ක් දවා ගත්තාය. නිමාෂා මීපගේ, මල්කි මදාරා සහ සුගන්දිකා කුමාරි කඩුල්ල බැගින් දවා ගනිමින් ඇයට සහාය දැක්වූහ.
ලකුණු 169ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේ සිටම චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්නගේ පාලනයට නතු විය. දෙදෙනාම පාකිස්තාන පන්දු යවන්නියන්ට කිසිදු ඉඩක් නොතබා පළමු කඩුල්ල සඳහා ලකුණු 159ක දැවැන්ත සබඳතාවක් ගොඩනැගූහ. ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වූ චමරි අතපත්තු පන්දු 58කින් හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් සමඟ ලකුණු 94ක් රැස් කළාය. අනෙක් අන්තයේ ස්ථාවර ඉනිමක් ක්‍රීඩා කළ විශ්මි ගුණරත්න පන්දු 50කින් නොදැවී ලකුණු 63ක් ලබාගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළාය.
චමරි දැවී යන විට ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ඉතා ආසන්නව තිබූ අතර, ඉන් අනතුරුව හර්ෂිතා සමරවික්‍රම සමඟ එක් වූ විශ්මි කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියාය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.4කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 169ක් ලබා තරගය ජයග්‍රහණය කළේය.
මෙම ජයග්‍රහණය ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ විශ්වාසය ඉහළ නංවන ප්‍රබල ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකි අතර විශේෂයෙන්ම චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න දැක්වූ පිතිහරඹය ඉදිරි තරග සඳහා සුබ ලකුණක් වී තිබේ.
පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසනදී කඩුලු 8ක් දැවී ලකුණු 168 යි – (මුනීබා අලී 36, ගුල් ෆෙරෝසා 26, ෆාතිමා සනා 37, අලියා රියාස් 22, චේතනා විමුක්ති 31/4)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 18.4 කදී කඩුල්ලක් දැවී ලකුණු 169 යි – (විශ්මි ගුණරත්න 63*, චමරි අතපත්තු 94)





