slc
logo
Home   |    News
ජූනි 17, 2026
චමරි දැවුණත් නොවැටුණු ශ්‍රී ලංකාව ගැන චමිල කියයි

sinhala editor

අයි.සී.සී. පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ප්‍රබල නවසීලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක විශිෂ්ට ජයක් වාර්තා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ අවසන් කණ්ඩායම් හතර අතරට පිවිසීමේ සිය බලාපොරොත්තු තවදුරටත් ජීවමාන කර ගැනීමට ඊයේ (16 දා) රාත්‍රියේදී සමත්වූහ.

මෙම ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු චමිල ගමගේ සඳහන් කළේ එංගලන්තය හමුවේ ලද පරාජයෙන් පසු කණ්ඩායමක් ලෙස සියලු ක්‍රීඩිකාවන් සහ පුහුණු කාර්ය මණ්ඩලය එක්ව තරග සැලසුම් නැවත සකස් කළ බවයි. ඔහුගේ අදහස අනුව, මෙම තීරණාත්මක වෙනස්කම් නවසීලන්තයට එරෙහි ජයග්‍රහණයේ ප්‍රධාන හේතුවක් බවට පත්ව තිබේ.

“එංගලන්ත තරගයෙන් පස්සේ අපි කණ්ඩායමක් විදියට එකතු වෙලා සැලසුම් වෙනස් කළා. ක්‍රීඩා කරන ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන්ත් වෙනස්කම් කළා. ඒවා මේ ජයග්‍රහණයට විශාල බලපෑමක් කළා“ යැයි ගමගේ පැවසීය.

මෙම තරගයේ ජයග්‍රහණයේ ප්‍රධාන නායිකාව බවට පත්වූයේ නිලක්ෂි ද සිල්වාය. කඩුලු වැටෙමින් තිබූ අසීරු අවස්ථාවක වගකීම භාරගත් ඇය ලබාගත් අර්ධ ශතකය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියේය. ලෝක කුසලානයක් දිනා ඇති ප්‍රබල නවසීලන්ත කණ්ඩායමක් හමුවේ එල්ල කළ එම ඉනිම කණ්ඩායමට අතිශය වටිනා එකක් බව ගමගේ අවධාරණය කළේය.

ලකුණු 151ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව කඩුලු 4ක් ලකුණු 55ක් තුළ අහිමි කරගෙන අසීරු තත්ත්වයකට ඇද වැටී සිටියේය. ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 95ක් අවශ්‍යව තිබූ අතර, අවශ්‍ය ලකුණු වේගය ද ක්‍රමයෙන් ඉහළ යමින් තිබුණි. එවැනි මොහොතක පිටියට පැමිණි නිලක්ෂි, සිය ජාත්‍යන්තර දිවියේ හොඳම ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 37කින් නොදැවී ලකුණු 54ක් රැස් කළාය.

ඇයගේ ඉනිම හුදෙක් අර්ධ ශතකයක් පමණක් නොවීය. එය ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන සිහිනය රැකගත් සටන්කාමී ඉනිමක් විය.

“අපිට මේ තරගය අනිවාර්යයෙන්ම ජයගන්න ඕන වුණා. නැත්නම් අවසන් කණ්ඩායම් හතරට යන්න අපහසු තත්ත්වයක් තිබුණා. ඒ නිසා නිලක්ෂි ලබාගත් අර්ධ ශතකය ඉතා වැදගත් ඉනිමක්“ යැයි ඔහු සඳහන් කළේය.

මුලින්ම කවිෂා දිල්හාරි සමඟ එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50ක සම්බන්ධතාවක් ගොඩනැගූ නිලක්ෂි, බිඳ වැටෙමින් තිබූ ඉනිම නැවත ස්ථාවර කළාය. එහෙත් දිල්හාරි දැවී යන විටත් ශ්‍රී ලංකාවට තවත් පන්දු 30කින් ලකුණු 45ක් අවශ්‍යව තිබූ අතර තරගයේ වාසිය නවසීලන්තය සතුව තිබූ බව පෙනී ගියේය. කෙසේ වෙතත් එතැනින් පසු තරගයේ සැබෑ හැරවුම් ලක්ෂ්‍යය නිර්මාණය විය.

යොවුන් ක්‍රීඩිකා කෞෂිනි නුත්‍යාංගනා සමඟ එක්ව නිලක්ෂි හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 28කින් ලකුණු 48ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගුවාය. කෞෂිනි පන්දු 14කින් නොදැවී ලකුණු 24ක් රැස් කරමින් පීඩනයට යට නොවූ අතර, ශ්‍රී ලංකාව තවත් පන්දු දෙකක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය කරා රැගෙන යාමට දායක වූවාය.

තරගයට පෙර කණ්ඩායම් සංයුතිය සම්බන්ධයෙන් ගත් තීරණය ද ජයග්‍රහණයට බලපෑ බව පුහුණුකරු පෙන්වා දුන්නේය. පෙර තරගයේදී ඉහළ ලකුණු සංඛ්‍යාවක් වාර්තා වූ තණතීරුවක් හේතුවෙන් පන්දු යවන්නන්ගේ සංයුතිය පිළිබඳව විශේෂ අවධානය යොමු කළ බව ඔහු පැවසීය.

“අපි පන්දු යවන්නන් හතර දෙනෙක් සමඟ ක්‍රීඩා කිරීමට තීරණය කළා. වේග පන්දු යවන්නන් දෙදෙනෙක් සහ දඟ පන්දු යවන්නන් දෙදෙනෙක් යොදාගත්තා. ඒ තීරණය නිසා නවසීලන්තය වැනි කණ්ඩායමක් ලකුණු 150ක පමණ මට්ටමකට සීමා කරගන්න අපිට හැකි වුණා“ යැයි ගමගේ කියා සිටියේය.

තවද ශ්‍රී ලංකා කණ්ඩායම චමරි අතපත්තු මත පමණක් රඳා නොසිට වෙනත් ක්‍රීඩිකාවන්ද වගකීම් භාරගැනීමට සූදානම්ව සිටීම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සඳහා ධනාත්මක ලකුණක් බව ද ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණ බොහෝ විට කණ්ඩායම් නායිකා චමරි අතපත්තුගේ දක්ෂතා සමඟ බැඳී තිබූ බව නොරහසකි. චමරි ඉක්මනින් දැවී ගිය අවස්ථාවලදී කණ්ඩායමේ සෙසු ක්‍රීඩිකාවන් මානසිකව පහත වැටෙන ස්වභාවයක් දක්නට ලැබුණු බවද වේග පන්දු පුහුණුකරුවා මෙම මාධ්‍ය හමුවේදී පිළිගත්තේය. එහෙත් නවසීලන්තයට එරෙහිව ලද කඩුලු 5ක විශිෂ්ට ජයග්‍රහණය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තුළ සිදුවෙමින් පවතින ධනාත්මක වෙනසක ප්‍රබල සාක්ෂියක් බවට පත්ව ඇත.

“චමරි දැවී ගිය පස්සේ කණ්ඩායම මානසිකව පහත වැටෙන අවස්ථා තිබුණා. නමුත් දැන් අපිට වෙනත් ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් ඉදිරියට ඇවිත් තරග ජයග්‍රහණය කර දෙන හැකියාව පෙන්වනවා. නිලක්ෂි ඒකට හොඳම උදාහරණයක්. ඒක ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් හොඳ සලකුණක්“ යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේ සටනේ තවදුරටත් රැඳී සිටින අතර, කණ්ඩායමේ නව සැලසුම්, නිලක්ෂි ද සිල්වාගේ වගකීම් සහගත පිතිහරඹය සහ පන්දු යවන්නන්ගේ සාර්ථක දායකත්වය ශ්‍රී ලංකාවට අගනා ජයග්‍රහණයක් ගෙන දුන් බව ක්‍රීඩා විචාරකයන්ගේද මතය වී තිබේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar