slc
logo
Home   |    News
ජූලි 26, 2026
චාමිකගේ ප්‍රහාරාත්මක ලකුණු 72 ගෝල් පිලට ජය ගෙනෙයි

sinhala editor

චාමික කරුණාරත්න පන්දු 34කින් හයේ පහර 6ක් සහ හතරේ පහර 4ක් සමඟ නොදැවී රැස් කළ ප්‍රහාරාත්මක ලකුණු 72 හේතුවෙන් 2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 14 වැනි තරගයේදී දඹුල්ල සික්සර්ස් කණ්ඩායම ලකුණු 44කින් පරාජය කිරීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම අද (26) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් ගෝල් ගැලන්ට්ස් පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 220ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල සික්සර්ස්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 176ක් පමණි.

ගැලන්ට්ස් ඉනිමේ මුල්පෙළ පිතිකරුවන් කිහිපදෙනෙකුම වේගවත් ආරම්භයන් ලබා දුන්හ. සෑම් හාපර් ලකුණු 41ක්, නුරුල් හසන් ලකුණු 29ක් සහ චරිත් අසලංක ලකුණු 31ක් රැස් කරමින් කණ්ඩායම ශක්තිමත් තත්ත්වයකට රැගෙන ගියහ. සහන් ආරච්චිගේ ද ලකුණු 28ක දායකත්වයක් ලබා දුන්නේය.

කෙසේ වෙතත් තරගයේ තීරණාත්මක වෙනස ඇති කළේ චාමික කරුණාරත්නය. අවසන් පන්දුවාර කිහිපයේදී දඹුල්ල පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළ ඔහු පන්දු 34කින් නොදැවී ලකුණු 72ක් රැස් කළේ හයේ පහර 6ක් සහ හතරේ පහර 4ක් සමඟින්. ඔහුගේ මෙම ඉනිම හේතුවෙන් ගැලන්ට්ස් ලකුණු 220ක දැවැන්ත ඉලක්කයක් ගොඩනැඟීය.

දඹුල්ල වෙනුවෙන් දුෂ්මන්ත චමීර කඩුලු 5ක් දවා ගත්තද, ඒ සඳහා ලකුණු 55ක් වැය වූ අතර, මොහොමඩ් වසීම් එක් කඩුල්ලක් දවා ගත්තේය.

ලකුණු 221ක ඉලක්කයක් හඹා ගිය දඹුල්ල සික්සර්ස්ට සාර්ථක ආරම්භයක් ලැබුණද, කඩුලු නිරන්තරයෙන් බිඳ වැටීම හේතුවෙන් තරගයෙන් ගිලිහී ගියේය. නිරෝෂන් දික්වැල්ල ලකුණු 32ක් රැස් කළ අතර, අවසන් භාගයේදී රමේෂ් මෙන්ඩිස් නොදැවී ලකුණු 39ක් සහ මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 16ක් ලබා දෙමින් පරාජයේ පරතරය අවම කිරීමට උත්සාහ කළහ.

ගෝල් ගැලන්ට්ස් වෙනුවෙන් සචිඳු කොළඹගේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 17කට කඩුලු 3ක් දවා ගත් අතර, මොහොමඩ් නවාස්, ඊෂාන් මාලිංග සහ අකීෆ් ජාවෙඩ් කඩුල්ල බැගින් දවා ගත්හ.

මෙම ජයග්‍රහණයත් සමඟ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම තරගාවලියේ තවත් වැදගත් ජයග්‍රහණයක් තමන් සතු කරගත්තේ, චාමික කරුණාරත්නගේ විනාශකාරී ඉනිම තරගයේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍ය බවට පත් කරමිනි.

ලකුණු සාරාංශය

ගෝල් ගැලන්ට්ස් – 220/6 (පන්දුවාර 20)
චාමික කරුණාරත්න නොදැවී 72 (34), සෑම් හාපර් 41, චරිත් අසලංක 31, නුරුල් හසන් 29, සහන් ආරච්චිගේ 28, දුෂ්මන්ත චමීර 55/5

දඹුල්ල සික්සර්ස් – 176/7 (පන්දුවාර 20)
රමේෂ් මෙන්ඩිස් නොදැවී 39, නිරෝෂන් දික්වැල්ල 32, මාර්කස් ඇකර්මන් 23, සචිඳු කොළඹගේ 17/3

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee