slc
logo
Home   |    News
ජූලි 13, 2026
චන්දිමාල්ගේ වාර්තාව බිඳ දැමූ සෙනුජ තවත් වාර්තාවක් අභියස

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට තවත් සුවිශේෂී පිතිකරුවකු බිහිවෙමින් සිටින බවට ප්‍රබල සංඥාවක් ලබා දුන් යොවුන් ආරම්භක පිතිකරු සෙනුජ වෙකුණගොඩ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13දා) ආරම්භ වූ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහි පළමු යොවුන් සිව්දින ක්‍රිකට් තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් වාර්තාගත ද්විත්ව ශතකයක් වාර්තා කළේය.

පළමු දිනය නිමාවන විට නොදැවී ලකුණු 203ක් රැස් කර සිටි සෙනුජ, සිය ද්විත්ව ශතකය සම්පූර්ණ කළේ මුහුණ දුන් 226 වැනි පන්දුවට හතරේ පහරක් එල්ල කරමිනි. වමත් පිතිකරුවකු වන ඔහුගේ මෙම ඉනිම සඳහා හතරේ පහර 31ක් ඇතුළත් වූ අතර, පන්දු 227කට මුහුණ දෙමින් ලකුණු 203ක් රැස් කරමින් ශ්‍රී ලංකා යොවුන් පිල ශක්තිමත් ස්ථානයකට රැගෙන ගියේය.

මෙම ඉනිමත් සමඟ සෙනුජ වෙකුණගොඩ, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම වෙනුවෙන් යොවුන් ටෙස්ට් ඉනිමකදී හතරේ සහ හයේ පහරවලින් වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවා ලෙස නව වාර්තාවක් පිහිටුවීය. ඔහුගේ ඉනිමේ ලකුණු 124ක් හතරේ පහර 31කින් වාර්තා වූ අතර, මීට පෙර 2009 වසරේ බංග්ලාදේශයට එරෙහිව දිනේෂ් චන්දිමාල් හතරේ පහර 28ක් සහ හයේ පහරක් සමඟ රැස් කර තිබූ ලකුණු 112ක වාර්තාව සෙනුජ විසින් අභිබවා ගියේය.

මරදාන ශාන්ත ජෝසප් විදුහල නියෝජනය කරන සෙනුජගේ මෙම ඉනිම ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ඉතිහාසයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සටහන් වන්නේ, යොවුන් සිව්දින ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් වාර්තා කළ තෙවැනි ශ්‍රී ලාංකික පිතිකරුවා බවට ඔහු පත්වීමත් සමඟය.

මීට පෙර යශෝධ ලංකා ලකුණු 213ක් සහ චරිත් අසලංක ලකුණු 200ක් රැස් කරමින් එම දස්කම දක්වා තිබිණි. කෙසේ වෙතත්, තරගයේ දෙවැනි දිනයේදී තවත් ලකුණු 11ක් රැස් කළහොත්, ශ්‍රී ලංකා යොවුන් සිව්දින තරග ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවා බවට පත්වීමේ අවස්ථාවද සෙනුජට හිමිවනු ඇත.

තරගයේ ආරම්භයේදීම ශ්‍රී ලංකාව ලකුණු 3ක් තුළ කඩුලු දෙකක් අහිමි කර ගනිමින් අසීරු තත්ත්වයකට පත්ව සිටියදී ඉනිමේ වගකීම සිය කර මතට ගත් සෙනුජ, නායක විමත් දින්සර සමඟ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 143ක සබඳතාවක් ගොඩනඟමින් කණ්ඩායම යළි තරගයට රැගෙන ආවේය. අනතුරුව කවිජ ගමගේ (49) සමඟ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 128ක සබඳතාවක් ගොඩනැගූ ඔහු, දිනය අවසානයේ චාමික හීනටිගල (නොදැවී 33) සමඟ නොබිඳුණු සබඳතාවක් පවත්වා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම තවදුරටත් ශක්තිමත් කළේය.

සෙනුජගේ ඉන්දීය යොවුන් කණ්ඩායමට එරෙහි මෑත කාලීන දක්ෂතාද කැපී පෙනේ. ඔහුගේ අවසන් ඉනිම් හතර සටහන් වන්නේ නොදැවී ලකුණු 203, 67, 60 සහ 91ක් ලෙසිනි. මීට අමතරව, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග දෙකේදීද ඔහු ලකුණු 48ක් සහ 43ක් රැස් කරමින් දක්ෂතා අතරට පැමිණියේය.

සෙනුජගේ විශිෂ්ට ඉනිම හේතුවෙන් කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පළමු දිනය අවසානයේ පන්දුවාර 89කදී කඩුලු 4ක් දැවී ලකුණු 344ක් රැස් කරමින් තරගයේ පාලනය සියතට ගෙන සිටියේය.

ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිම පන්දුවාර 89 ක් අවසනදී කඩුලු 4ක් දැවී ලකුණු 344 යි – (සෙනුජ වෙකුණගොඩ 203*, විමත් දින්සර 52, කවිජ ගමගේ 49, චාමික හීනටිගල 33*, දිමන්ත මහවිතාන 02, දුල්නිත් සිගේරා 00, කව්‍යා පටෙල් 54/2, ප්‍රනාව් රාගවේන්ද්‍ර 63/1, යෂ්බර්ධන් චෞහාන් 42/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee