slc
logo
Home   |    News
ජූලි 15, 2026
ඉන්දීය යෞවනයෝ අභියෝගය භාර ගනිති

sinhala editor

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහි පළමු යොවුන් සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සිය පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 424ක් ලබා සිටියදී අත්හිටුවූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය යොවුන් කණ්ඩායම කඩුල්ලක් නොදැවී ලකුණු 186ක් රැස් කරමින් ප්‍රබල ආරම්භයක් ලබා ගත්තේය.

පළමු දිනය නිමාවන විට නොදැවී ලකුණු 203ක් රැස් කර සිටි සෙනුජ වෙකුණගොඩ, දෙවැනි දිනයේදී තවත් ලකුණු 30ක් එක් කරමින් පන්දු 257කදී හතරේ පහර 33ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 233ක් රැස් කළේය. එම ඉනිමත් සමඟ ශ්‍රී ලංකා යොවුන් සිව්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලැබූ පිතිකරු බවට පත්වූ සෙනුජ, යශෝධ ලංකාගේ ලකුණු 213ක වාර්තාවද අභිබවා ගියේය.

මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය නියෝජනය කරන සෙනුජ, මෙම ඉනිමත් සමඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් යොවුන් සිව්දින ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් රැස් කළ තෙවැනි පිතිකරුවා බවට පත්විය. මීට පෙර එම දස්කම යශෝධ ලංකා (213) සහ චරිත් අසලංක (200) පමණක් වාර්තා කර තිබිණි.
ඒ සමඟම ලකුණු 233ක් රැස් කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම වෙනුවෙන් යොවුන් සිව්දින ජාත්‍යන්තර තරගයකදී වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවා බවටද ඔහු පත්විය. එමඟින් යශෝධ ලංකා ලකුණු 213ක් රැස් කරමින් තබා තිබූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ඉනිමක වැඩිම ලකුණු වාර්තාවද අභිබවා යමින් සෙනුජ තම නම වාර්තා පොත් අතර සනිටුහන් කරගත්තේය.
තවත් සුවිශේෂී වාර්තාවක් ලෙස, මෙම ඉනිමේදී හතරේ පහර 33ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 138ක් සීමා රේඛාව හරහා රැස් කළ සෙනුජ, ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් යොවුන් ටෙස්ට් ඉනිමකදී හතරේ සහ හයේ පහරවලින් වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවා බවටද පත්විය.
ඒ අනුව, 2009 වසරේ බංග්ලාදේශයට එරෙහිව දිනේෂ් චන්දිමාල් හතරේ පහර 28ක් සහ හයේ පහරක් සමඟ වාර්තා කර තිබූ ලකුණු 112ක වාර්තාවද සෙනුජ විසින් අභිබවා ගියේය.
පළමු දිනයේදී මුහුණ දුන් 226 වැනි පන්දුවේදී හතරේ පහරකින් සිය ද්විත්ව ශතකය සම්පූර්ණ කළ සෙනුජ, දිනය අවසන් වන විට පන්දු 227කින් හතරේ පහර 31ක් සමඟ නොදැවී ලකුණු 203ක් ලබා සිටියේය. දෙවැනි දිනයේදීද සිය ආක්‍රමණශීලී පිතිහරඹය ඉදිරියට ගෙන ගිය ඔහු, ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය පස්වැනි පිතිකරුවා ලෙස පිටියෙන් ඉවත් වන විට පන්දු 257කදී හතරේ පහර 33ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 233ක් රැස් කර තිබිණි.
මෙම ඉනිමත් සමඟ ඉන්දීය යොවුන් කණ්ඩායමට එරෙහිව සෙනුජගේ අවසන් ඉනිම් හතර 233, 67, 60 සහ 91 ලෙස සටහන් වන අතර, එහිදී ඔහු ලකුණු 451ක් රැස් කර තිබේ. ඊට පෙර පැවති යොවුන් ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරග දෙකේදීද ලකුණු 48 සහ 43 රැස් කරමින් අඛණ්ඩව ලකුණු අතර රැඳී සිටීමට ඔහු සමත් වී තිබිණි.

සෙනුජ දැවී යාමෙන් අනතුරුව චාමික හීනටිගල නොදැවී ලකුණු 33ක් රැස් කරමින් පහළ පෙළ පිතිකරුවන් සමඟ ඉනිම ඉදිරියට ගෙන ගිය අතර, ශ්‍රී ලංකා ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 424ක් ලබා සිටියදී අත්හිටුවීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා ඉනිමේදී විමත් දින්සර ලකුණු 52ක් සහ කවිජ ගමගේ ලකුණු 49ක් රැස් කළ අතර, ඉන්දීය පන්දු යවන්නන් අතර කව්‍යා පටෙල් කඩුලු 2ක් දවා ගත්තේය.

ලකුණු 425ක පළමු ඉනිමේ ඉලක්කයක් හඹා යෑම ඇරඹූ ඉන්දීය යොවුන් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් වූ ලක්ෂ්‍ය රායිචන්දනි සහ සාගර් විර්ක් ඉතා ඉවසීමෙන් පිතිහරඹයේ නිරත වූහ. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිදු කඩුල්ලක් ලබා නොදෙමින් ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 186ක සම්බන්ධතාවක් ගොඩනඟා දිනය නිමා කළහ.

රායිචන්දනි නොදැවී ලකුණු 93ක් රැස් කළ අතර, සාගර් විර්ක් නොදැවී ලකුණු 87ක් රැස් කළේය. ඔවුන්ගේ සබඳතාව හේතුවෙන් ඉන්දීය කණ්ඩායම තරගයට යළි ප්‍රබල ලෙස අවතීර්ණ වුවද, දෙවැනි දිනය අවසන් වන විට තවමත් ශ්‍රී ලංකාවේ පළමු ඉනිමට වඩා ලකුණු 238ක් පසුපසින් පසුවෙයි.

ඒ අනුව තරගයේ තීරණාත්මක තෙවැනි දිනයේදී ඉන්දීය ආරම්භක සබඳතාව බිඳ දැමීම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ප්‍රධාන අභියෝගය වන අතර, ඉක්මන් කඩුලු කිහිපයක් දවා ගැනීමට හැකි වුවහොත් තරගයේ වාසිය තවදුරටත් ශ්‍රී ලංකාව සතුව පවත්වා ගැනීමේ අවස්ථාව හිමි වනු ඇත.

  • ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පළමු පන්දුවාර 1064 කදී ඉනිම කඩුලු 9ක් දැවී 424 – (සෙනුජ වැකුණගොඩ 233, විමත් දින්සර 52, කවිජ ගමගේ 49, චාමික හීනටිගල 45, ඔෂද මනහර 31*, කාව්‍යා පරේෂ් 67/2, ජෙගනාතන් හේමචුදේශන් 107/3, ප්‍රියන්ෂු සිං 66/3)
  • ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 58 කදී කිසිවෙක් නොදැවී ලකුණු 186 –(ලක්ෂාය රායිචන්දනී 93*, සාගර් වර්ක් 87*)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee