slc
logo
Home   |    News
ජූලි 31, 2026
ඉමේෂාගේ මංගල ශතකයෙන් ශ්‍රී ලංකාවට වාර්තාගත ජයක්

sinhala editor

ජාත්‍යන්තර විස්සයි-20 පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් රැස් කළ දෙවැනි ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක් වූ ඉමේෂා දුලානිගේ නොදැවී ලකුණු 101ක අතිවිශිෂ්ට ඉනිම හමුවේ පාකිස්තානයට එරෙහි පළමු කාන්තා විස්සයි-20 තරගයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව, රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (31) පැවැති තරගයෙන් තරග තුනකින් සමන්විත තරගාවලියේ 1-0ක පෙරමුණ හිමිකර ගත්තේය.

පාකිස්තානය ලබාදුන් ලකුණු 177ක ඉලක්කය සාර්ථකව හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, සිය විස්සයි විස්ස ජාත්‍යන්තර ඉතිහාසයේ ඉහළම සාර්ථක ලකුණු හඹා යාම වාර්තා කළේය. මීට පෙර ශ්‍රී ලංකා කාන්තා පිල සතුව තිබූ මෙම වාර්තාව වූයේ 2014 වසරේදී ඉන්දියාවට එරෙහිව හඹාගිය ලකුණු 148ක ඉලක්කයයි. එම වාර්තාව ලකුණු 29කින් අභිබවා යමින් දඹුල්ලේදී නව වාර්තාවක් පිහිටුවීමට චමරි අතපත්තු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

මෙම ශතකයත් සමඟ ජාත්‍යන්තර විස්සයි-20 තරගයකදී ශතකයක් රැස් කළ දෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙස ඉමේෂා ඉතිහාසයට එක් වූවාය. මීට පෙර එම දස්කම සිදුකර තිබුණේ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පමණක් වන අතර, ඇය මේ වනවිට විස්සයි-20 ජාත්‍යන්තර ශතක හතරක් වාර්තා කර තිබේ.

පාකිස්තානය පළමුව පන්දුවට පහර දෙමින් පන්දුවාර 20 අවසානයේ කඩුලු 7කට ලකුණු 176ක් රැස් කළේය. නායිකා මුනීබා අලී වේගවත් ලකුණු 42ක් රැස් කළ අතර, ෂවාල් සුල්ෆිකාර් ලකුණු 63ක අනගි ඉනිමක් ක්‍රීඩා කළාය. එම දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 39කදී ලකුණු 66ක සබඳතාවක්ද ගොඩනැඟූහ.

ගාල්ල රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ක්‍රිකට් ගමන ආරම්භ කළ ඉමේෂා දුලානි අද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිටියේ වේගයෙන්ම අවධානය දිනාගත් නව පරපුරේ පිතිකාරිණියකි. “ක්‍රිකට් ගමට” වැඩසටහන හරහා ජාතික මට්ටමට පැමිණි ඇය, තම ආක්‍රමණශීලී පිතිහරඹය සහ තීරණාත්මක අවස්ථාවල දක්ෂතා දැක්වීම හේතුවෙන් කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වාසවන්ත පිතිකාරිණියක් බවට පත්ව සිටින්නීය. අද පාකිස්තානයට එරෙහිව වාර්තා කළ ඉතිහාසගත ශතකයත් සමඟ ඇය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ නව සලකුණක් තැබීමට සමත් වූවාය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කාවිෂා දිල්හාරි කඩුලු 2ක් දවාගත් අතර, සුගන්දිකා කුමාරි, චමුදි ප්‍රබෝධා සහ කාව්‍යා කාවින්දි එක් කඩුල්ල බැගින් දවාගත්හ.

ලකුණු 177ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 177ක් රැස් කරමින් ජය තහවුරු කළේය.

ආරම්භක පිතිකාරිණිය ලෙස පිටියට පිවිසි ඉමේෂා දුලානි මුළු ඉනිමම පාලනය කරමින් පන්දු 64කින් නොදැවී ලකුණු 101ක් රැස් කළාය. ඇයගේ ශතකයට හතරේ පහර 17ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වූ අතර, ඇය සිය ශතකය සම්පූර්ණ කළේ පන්දු 63කිනි. ජාත්‍යන්තර විස්සයි-20 පිටියේ ඇයගේ පළමු ශතකය වූ මෙම ඉනිම තරගයේ තීරණාත්මක සාධකය බවට පත්විය.

නායිකා චමරි අතපත්තුද පන්දු 22කින් වේගවත් ලකුණු 39ක් රැස් කරමින් ඉමේෂා සමඟ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 43කදී ලකුණු 78ක සබඳතාවක් ගොඩනැඟුවාය. ඉන් අනතුරුව කඩුලු කිහිපයක් ඉක්මනින් බිඳ වැටුණද, ඉමේෂා සිය ඉනිම මැනවින් ගොඩනඟමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියාය. අවසානයේ නිලක්ෂිකා සිල්වා පන්දු 4කින් නොදැවී ලකුණු 9ක් රැස් කරමින් ජයග්‍රහණය තහවුරු කළාය.

පාකිස්තානය වෙනුවෙන් නෂ්රා සන්ධු කඩුලු 2ක් දවාගත් අතර, උම්මේ හනි සහ හුම්නා බිලාල් එක් කඩුල්ල බැගින් දවාගත්හ.

ඉමේෂා දුලානි සිය විශිෂ්ට ශතක ඉනිම වෙනුවෙන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද සම්මානයට පාත්‍ර වූවාය.

මෙම තරගය ශ්‍රී ලංකා වමත් දඟ පන්දු යවන ක්‍රීඩිකා සුගන්දිකා කුමාරිගේ 100 වැනි ජාත්‍යන්තර විස්සයි-20 තරගය ලෙසද සුවිශේෂීත්වයක් හිමිකර ගත්තේය. වසර ගණනාවක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නියක ලෙස කටයුතු කළ ඇය, මෙම සුවිශේෂී කඩඉමට ළඟා වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතරට එක් වූවාය. ඒ් අනුව ඇය ශ්‍රී ලංකාව විස්සයි-20 ජාත්‍යන්තර තරග 100 කට ක්‍රීඩා කළ සිව්වැනි ක්‍රීඩිකාව ලෙසින් අද දිනයේදී වාර්තා පොත් අතරට ඒක්වූවාය. ඇයට පෙර චමරි අතපත්තු (163), නිලක්ෂි ද සිල්වා (120) සහ උදේශිකා ප්‍ර බෝධනී (106) ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 ජාත්‍යන්තර තරග 100 කට ක්‍රීඩා කර ඇති සෙසු ක්‍රීඩිකාවෝ වෙති.

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමේ නායිකා වන 17 හැවිරිදි චමුදි ප්‍රබෝධා මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි-20 වරම් දිනාගත් 60 වැනි ක්‍රීඩිකාව බවට පත්වූවාය.

2009 අප්‍රේල් 25 වැනිදා උපත ලැබූ 17 හැවිරිදි චමුදි වමත් දඟ පන්දු යවන්නියක වන අතර වමත් පිතිකාරිණියක ලෙසද කටයුතු කරයි. ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කර ඇති ඇය, 2025 අයිසීසී අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ දක්ෂතා හේතුවෙන් තරගාවලියේ කණ්ඩායමටද ඇතුළත් වූවාය. අනතුරුව ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස පත් වූ ඇය, මේ වසරේ ඉන්දියාවේ පැවැති ශ්‍රී ලංකා යොවුන් සංචාරයටද නායකත්වය ලබා දුන්නාය. පාකිස්තානයට එරෙහි මෙම තරගයේදී ජාතික කණ්ඩායම වෙනුවෙන් මංගල විස්සයි-20 ජාත්‍යන්තර වරම් දිනාගත් චමුදි, සිය පළමු ජාත්‍යන්තර කඩුල්ල ලෙස ෂවාල් සුල්ෆිකාර් දවා ගැනීමටද සමත් වූවාය.

පාකිස්තානය – 176/7 (පන්දුවාර 20)
ෂවාල් සුල්ෆිකාර් 63, මුනීබා අලී 42, එමාන් නසීර් 21, අයේෂා සෆර් 17, කාවිෂා දිල්හාරි 36/2, සුගන්දිකා කුමාරි 30/1, චමුදි ප්‍රබෝධා 29/1, කාව්‍යා කාවින්දි 30/1

ශ්‍රී ලංකාව – 177/4 (පන්දුවාර 19)
ඉමේෂා දුලානි නොදැවී 101, චමරි අතපත්තු 39, කාවිෂා දිල්හාරි 11, නිලක්ෂිකා සිල්වා නොදැවී , නෂ්රා සන්ධු 25/2, උම්මේ හනි 37/1, හුම්නා බිලාල් 38/1

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee