ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 7 වැනි තරගයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 5ක තියුණු ජයක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය හිමිකර ගත්තේය. කලම්බු කැප්ස් කණ්ඩායමට එරෙහිව පැවැති මෙම තරගයේ අවසන් පන්දුව දක්වාම උණුසුම් සටනක් දක්නට ලැබිණි.
පළමුවෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 179ක් රැස් කළේය. ආරම්භක පිතිකරුවන් වූ අවිශ්ක ප්‍රනාන්දු (34) සහ කමිල් මිශාර (39) පළමු කඩුල්ලට ලකුණු 65ක සබඳතාවක් ගොඩනඟමින් ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන්හ.
ඉනිමේ කැපී පෙනුණු පිතිකරු වූ චමිඳු වික්‍රමසිංහ පන්දු 22කින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 43ක් රැස් කරමින් ජැෆ්නා කිංග්ස් ලකුණු 179 දක්වා රැගෙන ගියේය. දුනිත් වෙල්ලාලගේ සහ ඊබ්‍රහිම් සද්‍රාන් ලකුණු 19 බැගින් ලබා ගත්හ.
ලකුණු 180ක ඉලක්කයක් හඹා ගිය කලම්බු කැප්ස් කණ්ඩායම ආරම්භයේදීම කඩුලු දෙකක් අහිමි කර ගත්තද, නායක කමිඳු මෙන්ඩිස් පන්දු 42කින් ලකුණු 58ක් රැස් කරමින් කණ්ඩායම නැවත තරගයට කැඳවාගෙන ආවේය. ඔහුට ශාරුජන් ශන්මුගනාදන් ලකුණු 26කින් සහය වූ අතර, අවසන් පන්දුවාරවලදී වනුජ සහන් පන්දු 15කින් නොදැවී ලකුණු 34ක් රැස් කරමින් තරගය උණුසුම් කළේය.
කෙසේ වෙතත් කලම්බු කැප්ස් ඉනිම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 174කට සීමා වූ අතර ජැෆ්නා කිංග්ස්ට ලකුණු 5ක ජයක් හිමි විය.
ජැෆ්නා කිංග්ස් වෙනුවෙන් ලිසාඩ් විලියම්ස් කඩුලු 3ක් ද, ඩිල්ශාන් මදුශංක සහ ට්‍රවීන් මැතිව් කඩුලු 2 බැගින් ද දවා ගත්හ.
තරගයේ වීරයා ලෙස චමිඳු වික්‍රමසිංහ සම්මානයට පාත්‍ර විය.
ජැෆ්නා කිංග්ස් පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 179
අවිශ්ක ප්‍රනාන්දු 34, කමිල් මිශාර 39, චමිඳු වික්‍රමසිංහ 43, මුජීබ් උර් රහ්මාන් 2/33, ෂානාවාස් දහානි 2/25
කලම්බු කැප්ස් පන්දුවාර 20දී කඩුලු 9ක් දැවී ලකුණු 174
කමිඳු මෙන්ඩිස් 58, ශාරුජන් ශන්මුගනාදන් 26, වනුජ සහන් නොදැවී 34, ඩිල්ශාන් මදුශංක 2/12, ට්‍රවීන් මැතිව් 2/21, ලිසාඩ් විලියම්ස් 3/29






