කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට ඉන්දියාව කඩුලු 5ක් දැවී ලකුණු 300ක් රැස් කරමින් ශක්තිමත් තත්ත්වයක පසුවිය. කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක ශුබ්මන් ගිල් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, එම තීරණය සාර්ථක කරමින් ඉන්දීය පිතිකරුවෝ එස්.එස්.සී. තණතීරුවේ හොඳ පිතිකරණ තත්ත්වයෙන් උපරිම ප්‍රයෝජන ගත්හ.
ඉන්දීය ඉනිමේ කැපී පෙනුණු පිතිකරු වූයේ දේව්දත් පඩික්කල් වන අතර පසුගිය ටෙස්ට් තරගයේදී ශතකයක් රැස් කළ ඔහු අද දිනයේදීද ලකුණු 117ක් ලබා ගනිමින් පිට පිට දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කළේය. ඔහු ශුබ්මන් ගිල් සමඟ ලකුණු 120ක සබඳතාවක්ද, රවීන්ද්‍ර ජඩේජා සමඟ ලකුණු 74ක සබඳතාවක්ද ගොඩනඟමින් ඉන්දීය ඉනිමට ශක්තිමත් පදනමක් දැමීය.
කෙසේ වෙතත්, පඩික්කල්ගේ ශතක ඉනිම ආරම්භයේදීම අවසන් කළ හැකි අවස්ථා දෙකක් ශ්‍රී ලංකාවට තිබුණි. ඔහු මුහුණදුන් පළමු පන්දුවේදීම පොයින්ට්හි සිටි සෝනල් දිනූෂා වෙත ගිය උඩපන්දුවක් ගිලිහී ගිය අතර, ලකුණු 1ක් ලබා සිටියදී කේෂර නුවන්ථගේ පන්දුවකට ස්ලිප්හි ධනංජය ද සිල්වා වෙත ගිය තවත් අවස්ථාවක්ද රැක ගැනීමට නොහැකි විය.
එම අවස්ථාවලින් ප්‍රයෝජන ගත් පඩික්කල් පසුව ඉන්දීය ඉනිම ගොඩනඟමින් ලකුණු 117ක් ලබා ගත්තේය.
ගිල් අර්ධ ශතකයක් රැස් කළ අතර, යශස්වි ජයිස්වාල් සහ කේ.එල්. රාහුල් ලකුණු අතරට පැමිණීමට පෙර දැවී ගියහ. ජඩේජා ලකුණු 36ක් රැස් කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් සාර්ථකම ක්‍රීඩකයා වූයේ අසිත ප්‍රනාන්දු වන අතර ඔහු ලකුණු 46කට කඩුලු 3ක් දවා ගනිමින් ඉන්දීය පිතිකරුවන්ට පීඩනයක් එල්ල කළේය. ළහිරු කුමාර සහ කේෂර නුවන්ත එක් කඩුල්ල බැගින් දවා ගත්හ.
ළහිරු කුමාරගේ වේගවත් කෙටි පන්දුවක් රිෂාබ් පාන්ට්ගේ පෙරබාහුවේ වැදීමෙන් ඔහුට තාවකාලිකව පිටියෙන් ඉවත්වීමටද සිදුවිය. එමෙන්ම රවීන්ද්‍ර ජඩේජාගේ පෙරබාහුවේද කුමාරගේ කෙටි පන්දුවක් වැදුණු අතර, පසුව අසිත ප්‍රනාන්දුගේ පන්දුවකට ඔහු දැවී ගියේය.
දිනය පුරා ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථා කිහිපයක් නිර්මාණය කළද, පඩික්කල් අවස්ථා දෙකකදී දැවී යාමෙන් බේරීම ඉන්දියාවට වාසිදායක විය. ඉන්දියාව දිනය පුරා හතරේ පහර 36ක් එල්ල කරමින් තම පිතිකරණ ආධිපත්‍යය පෙන්වීය.
පළමු දින අවසානයේ ඉන්දියාව කඩුලු 5කට ලකුණු 300ක් ලබා සිටින අතර, සරන්ෂ් ජේන් ලකුණු 4ක්ද, ධෘව් ජුරෙල් ලකුණු 7ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.
ශ්‍රී ලංකාවට දැන් ඇති ප්‍රධාන අභියෝගය වන්නේ දෙවැනි දිනයේ ආරම්භයේදීම ඉතිරි ඉන්දීය කඩුලු දවාගෙන, තරගයේ ගමන්මග යළි තමන් වෙත හරවා ගැනීමයි.
අපේ රටේ ගීත කලාවට දශක හයකට වැඩි කාලයක් පුරා සිය හඬින් ආලෝකයක් වූ, අමරණීය ගීත රැසක හිමිකාරිය වූ ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය සිහිපත් කරමින්, අද SSC ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා – ඉන්දියා දෙවැනි ටෙස්ට් තරගය ආරම්භයට පෙර විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්විණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ දිගු කලක් බලා සිටි අවස්ථාවක් අද කමිල් මිශාරට උදා විය. ඉන්දියාවට එරෙහි SSC දෙවැනි ටෙස්ට් තරගයේදී සිය මංගල ටෙස්ට් වරම් දිනාගත් කමිල්, ශ්‍රී ලංකාවේ ටෙස්ට් වරම් දිනාගත් 174 වැනි ක්‍රීඩකයා බවට පත්විය.
ඉන්දියාව – කඩුලු 5කට ලකුණු 300යි (ඕවර 85)
දේව්දත් පඩික්කල් 117, ශුබ්මන් ගිල් 58, රවීන්ද්‍ර ජඩේජා 36, යශස්වි ජයිස්වාල් 28, කේ.එල්. රාහුල් 20; අසිත ප්‍රනාන්දු 46/3, ළහිරු කුමාර 38/1, කේෂර නුවන්ථ 93/1)




