slc
logo
Home   |    News
අගෝස්තු 22, 2026
නුගේගොඩට දැවැන්ත ජයක් – සම්පත් නිශ්ශංකගෙන් කඩුලු 5ක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධාන පෙළේ සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් අද (21) කොළඹ තර්ස්ටන් විද්‍යාල ක්‍රීඩාංගණයේදී සහ මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති අතර, එහිදී නුගේගොඩ මහ සී.සී.සී. කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කළහ.

දිනයේ වැඩිම අවධානය දිනාගත් ජයග්‍රහණය වාර්තා කළේ නුගේගොඩ ක්‍රීඩා සමාජයයි. පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී නුගේගොඩ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 157ක දැවැන්ත ජයක් අත්කර ගත්තේය.

නුගේගොඩ ඉනිම ශක්තිමත් කළ සම්මු ආශාන් සහ රෙහාන් පීරිස් අර්ධ ශතක වාර්තා කළහ. සම්මු ආශාන් ලකුණු 85ක් රැස් කළ අතර, රෙහාන් පීරිස් ලකුණු 57ක් ලබා ගත්තේය. ඔවුන්ගේ දස්කම් මත නුගේගොඩ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 278ක් රැස් කළේය.

එම ලකුණු සංඛ්‍යාව හඹා යමින් සිටියදී පානදුර ක්‍රීඩා සමාජ ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, තරගය නතර කරන විට ඔවුන් පන්දුවාර 26.2කදී කඩුලු සියල්ල දැවී ලකුණු 115ක් ලබා සිටියේය. පන්දු යැවීමෙන් කැපී පෙනුණු සම්පත් නිශ්ශංක ලකුණු 38කට කඩුලු 5ක් දවා ගනිමින් නුගේගොඩ ජයග්‍රහණයේ ප්‍රධාන සාධකය බවට පත්විය.

මේ අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් සී.සී.සී කණ්ඩායම විසින් ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය ලකුණු 43කින් පරාජය කළේය.

සී.සී.සී. වෙනුවෙන් පවන් රත්නායක ලකුණු 69ක් රැස් කරමින් අර්ධ ශතකයක් වාර්තා කළ අතර, අංජල බණ්ඩාර ලකුණු 37ක් සහ රශ්මික හිරුෂාන් පෙරේරා ලකුණු 32ක් ලබා ගත්හ. ඒ අනුව ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 225ක් රැස් කළේය.

ලකුණු 226ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඒස් කැපිටල් ක්‍රීඩා සමාජයට පන්දුවාර 49කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 182ක් පමණි. තිසර ඒකනායක ලකුණු 63ක් රැස් කළද, කොළඹ කණ්ඩායමේ අශේන් ඩැනියෙල් ලකුණු 30කට කඩුලු 3ක් දවා ගනිමින් සිය කණ්ඩායමේ ජය තහවුරු කළේය.

නුගේගොඩ ක්‍රීඩා සමාජයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 157ක ජයක්

නුගේගොඩ ක්‍රීඩා සමාජය – කඩුලු 7ක් දැවී ලකුණු 278 (පන්දුවාර 50): සම්මු ආශාන් 85, රෙහාන් පීරිස් 57, රාහුල් ගුණසේකර නොදැවී 41, පුලිඳු පෙරේරා 23, ලහිරු දාවටගේ 20, සඳුන් මෙන්ඩිස් 20; විශ්ව ලහිරු කුමාර 51/2, කලාන පෙරේරා 54/2, අසංක මනෝජ් 71/2.

පානදුර ක්‍රීඩා සමාජය – සියලු දෙනා දැවී ලකුණු 115 (පන්දුවාර 26.2): ශාලිත් ප්‍රනාන්දු නොදැවී 38, කලාන පෙරේරා 21; සම්පත් නිශ්ශංක 38/5, සම්මු ආශාන් 22/2.

කොළඹ ක්‍රිකට් සමාජයට ලකුණු 43ක ජයක්

කොළඹ ක්‍රිකට් සමාජය – කඩුලු 9ක් දැවී ලකුණු 225 (පන්දුවාර 50): පවන් රත්නායක 69, අංජල බණ්ඩාර 37, රශ්මික හිරුෂාන් පෙරේරා 32; වනුජ සහන් 42/3, රවීන් ද සිල්වා 26/2.

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය – සියලු දෙනා දැවී ලකුණු 182 (පන්දුවාර 49): තිසර ඒකනායක 63, කෞෂික කුමාරසිංහ 25, රවීන් ද සිල්වා නොදැවී 20; අශේන් ඩැනියෙල් 30/3, රශ්මික හිරුෂාන් පෙරේරා 27/2, ලසිත් කෲස්පුල්ලේ 29/2, දිලුම් සුදීර 35/2.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar