slc
logo
Home   |    News
සැප්තැම්බර් 2, 2026
කඩුලු 6ක් බිඳ වැටුණු තැනින් නිලක්ෂිකා ශ්‍රී ලංකාව 124කට ඔසවයි

sinhala editor

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වැනි ජාත්‍යන්තර අත්දැකීම් සහිත කණ්ඩායමට එරෙහිව විස්සයි-20 ජාත්‍යන්තර පිටියේදී පළමු වතාවට මුණ ගැසුණු ඉන්දුනීසියානු කාන්තා කණ්ඩායම හමුවේ මෙතරම් දැඩි පීඩනයකට පත්වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා නොකළ තත්ත්වයක් යටතේ, නිලක්ෂිකා සිල්වාගේ විශිෂ්ට අර්ධ ශතකය හේතුවෙන් ශ්‍රී ලංකාව ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සිය දෙවැනි තරගයේදී ලකුණු 124ක් දක්වා ඉනිම ගොඩනැගීමට සමත් විය.

ඉන්දුනීසියාවට එරෙහිව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 12.3ක් අවසන් වන විට ලකුණු 62කට කඩුලු 6ක් අහිමි කරගෙන සිටි අතර, එය තරගයේ ශ්‍රී ලංකා ඉනිම මුළුමනින්ම ඉන්දුනීසියානු පන්දු යවන්නියන්ගේ ග්‍රහණයට නතුව තිබූ බවට කදිම සාක්ෂියක් විය. පළමු පන්දුවාර හයේදී ලකුණු 31ක් පමණක් ලබාගත් ශ්‍රී ලංකාවට එහිදී කඩුලු දෙකක් අහිමි වූ අතර, පන්දුවාර 9.3ක් අවසන් වන විට ලකුණු 45කට කඩුලු 5ක් බිඳ වැටී තිබුණි.

ආරම්භක පිතිකාරිනිය ඉමේෂා දුලානි ලකුණු 3කට දැවී යාමෙන් ආරම්භ වූ ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු බිඳවැටීම නතර කිරීමට ප්‍රබල පිතිකාරිනියන්ට පවා නොහැකි විය. නායිකා චමරි අතපත්තු ලකුණු 9කට දැවී ගිය අතර, සංජනා කාවින්දි ලකුණු 15ක් ලබාගත්තේය. හර්ෂිතා සමරවික්‍රමට ලබාගත හැකි වූයේ ලකුණු 5ක් පමණි. කවීෂා දිල්හාරි ලකුණු 6කට දැවී යාමත් සමඟ ශ්‍රී ලංකාව ලකුණු 45කට කඩුලු 5ක් අහිමි කරගෙන සිටියේය.

එතැන් සිට ශ්‍රී ලංකා ඉනිමට යළි ජීවය ලබා දුන්නේ නිලක්ෂිකා සිල්වාය. කඩුලු එකින් එක බිඳ වැටෙමින් ශ්‍රී ලංකාව දැඩි අසීරුතාවකට පත්ව සිටි අවස්ථාවේදී පිටියට පැමිණි නිලක්ෂිකා, තත්ත්වයට අනුව ඉවසිලිවන්තව මෙන්ම අවශ්‍ය අවස්ථාවලදී ප්‍රහාරාත්මකවද ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමට මූලිකත්වය ගත්තාය.

පන්දු 35කට මුහුණ දුන් ඇය හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 50ක් රැස් කළාය. ඇයගේ අර්ධ ශතකය පන්දු 34කදී සම්පූර්ණ වූ අතර, එය ලකුණු 62කට කඩුලු 6ක් දැවී ගොස් තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් ඉනිමක් විය.

නිලක්ෂිකාට අනගි සහායක් ලබාදුන් කාව්‍යා කාවින්දි, පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟ නොදැවී ලකුණු 15ක් රැස් කළාය. දෙදෙනා එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35කදී ලකුණු 50ක සබඳතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකාව තරගකාරී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියහ.

පන්දුවාර 17.5කදී ශ්‍රී ලංකාව ලකුණු 100 සීමාව පසු කළ අතර, නිලක්ෂිකාගේ දැවී යාමත් සමඟ එම සබඳතාව අවසන් විය. පන්දුවාර 18.3කදී ලකුණු 112කට ශ්‍රී ලංකා කණ්ඩායමේ හත්වැනි කඩුල්ල ලෙස නිලක්ෂිකා දැවී ගියද, අවසන් පන්දුවාර කිහිපයේදී කාව්‍යා කාවින්දි සහ සුගන්ධිකා කුමාරි එක්ව තවත් ලකුණු 12ක් එකතු කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 124 දක්වා ඉහළ නැංවූහ.

සුගන්ධිකා කුමාරි පන්දු 8කදී ලකුණු 8ක් ලබා නොදැවී සිටි අතර, අතිරේක ලකුණු 7ක්ද ශ්‍රී ලංකා ඉනිමට එක් විය. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසනදී ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණු 124ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකා ඉනිම විනාශ කිරීමට ඉන්දුනීසියානු පන්දු යවන්නියන් දැක්වූ දක්ෂතාව මෙහිදී විශේෂයෙන් කැපී පෙනුණි. පන්දු යැවීම හා සමාන වූ පන්දු රැකීමද ඔවුනගේ කැපී පෙනිණ. නි ලූ දේවි පන්දුවාර 4කදී ලකුණු 32කට කඩුලු 3ක් දවා ගනිමින් ශ්‍රී ලංකා පිතිකාරිනියන්ට දැඩි පීඩනයක් එල්ල කළාය. සංග් මේප්‍රියානි පන්දුවාර 4කදී ලකුණු 19කට කඩුලු 2ක් දවා ගත් අතර, නි අරියානි සහ සොෆියා වෙලික් එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා පිතිකාරිනියන්ට නිදහසේ පහර එල්ල කිරීමට අවස්ථාවක් ලබා නොදෙමින් පන්දුවෙන් පන්දුවට පීඩනය වැඩි කිරීමට ඉන්දුනීසියානු පන්දු යවන්නියන් සමත්වීම තරගයේ කැපී පෙනෙන කරුණක් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පිතිකාරිනියන් කිහිපදෙනකුම අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට හැකිවීමෙන් එම පීඩනයේ ප්‍රතිඵලය පැහැදිලි විය.

ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසනදී කඩුලු 7 ක් දැවී ලකුණු 124 යි – (නිලක්ෂිකා සිල්වා 50, කාව්‍යා කාවින්දි 15*, සංජනා කාවින්දි 15, ඉමේෂා දුලානි 03, චමරි අතපත්තු 09, හර්ෂිතා සමරවික්‍රම 05, කවීෂා දිල්හාරි 06, කෞෂානි නුත්‍යාංගනා 06, සුගන්ධිකා කුමාරි 08*, නි ලූ දේවි 32/3, සංග් මේප්‍රියානි 19/2, නි අරියානි 23/1, සොෆියා වෙලික් 21/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee