slc
logo
Home   |    News
සැප්තැම්බර් 2, 2026
කඩුලු ත්‍රිත්වයක් සමගින් චමරිගෙන් වාර්තාගත පන්දු යැවීමක් – නිලක්ෂිකාටත් ගෞරවයක්

sinhala editor

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් විස්සයි-20 තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක්ද සමඟ ඉනිමක හොඳම පන්දු යැවීම සටහන් කරමින් ශ්‍රී ලංකා විස්සයි-20 නායිකා චමරි අතපත්තු ලකුණු 5කට කඩුලු 7ක් දවාගනිද්දී, ඉන්දුනීසියාවට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 75ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (02දා) රාත්‍රියේ සමත් විය.

ලකුණු 5කට කඩුලු 7ක් දවාගනිමින් කඩුලු ත්‍රිත්වයක්ද සම්පූර්ණ කළ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු, කාන්තා විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ අමරණීය පන්දු යැවීමක් සටහන් කරමින් ඉන්දුනීසියානු කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා මූලිකත්වය ගත්තාය. ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය බවට පත්වූ මෙම තරගයේදී චමරිගේ පන්දු යැවීම හමුවේ ඉන්දුනීසියාවට පන්දුවාර 18.3කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 49ක් පමණකි.

තරගයේ මුලදී ශ්‍රී ලංකා පිතිකාරිණියන් ඉන්දුනීසියානු පන්දු යවන්නියන් හමුවේ අනපේක්ෂිත අසීරුතාවකට පත්වෙමින් ලකුණු 62කට කඩුලු 6ක් අහිමි කරගෙන සිටියද, නිලක්ෂිකා සිල්වාගේ සටන්කාමී අර්ධ ශතකය හේතුවෙන් ශ්‍රී ලංකාව ලකුණු 124ක් දක්වා ඉනිම ගොඩනගා ගැනීමට හැකියාව ලැබිණ. එහෙත් ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු සංඛ්‍යාව ප්‍රමාණවත්ද යන්න පිළිබඳ සැකයක් මතුව තිබූ අවස්ථාවක, පන්දුව අතට ගත් චමරි අතපත්තු තරගයේ සම්පූර්ණ පාලනය ශ්‍රී ලංකාව දෙසට හරවා දැමුවාය.

පන්දුවාර 3.3ක් පමණක් යවමින් ලකුණු 5කට කඩුලු 7ක් බිඳ දැමූ චමරි, ඉන්දුනීසියානු පිතිකාරිණියන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් අතර, අවසන් කඩුලු තුන පිට පිට දවාගනිමින් කඩුලු ත්‍රිත්වයද සම්පූර්ණ කළාය. මෙය චමරිගේ නායකත්වයේ පිතිකරණ දස්කමට පමණක් සීමා නොවී, අවශ්‍යම මොහොතේ පන්දුවෙන්ද තරගයක් තනිවම වෙනස් කළ හැකි ඇයගේ සුවිශේෂී හැකියාව යළිත් වරක් ප්‍රදර්ශනය කළ අවස්ථාවක් බවට පත්විය.

තරගාවසානයේ පැවැති ජය සංකේත ප්‍රදානෝත්සවයේදී දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර වූ චමරි අතපත්තු, එම සම්මානය තනිව භාරගැනීම වෙනුවට ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමේදී තීරණාත්මක දායකත්වයක් ලබා දෙමින් අර්ධ ශතකයක් රැස් කළ නිලක්ෂිකා සිල්වා සමඟ බෙදා ගැනීමට කටයුතු කිරීම තරගයේ අවසන් අදියරේ බොහෝ දෙනාගේ අවධානය දිනාගත් හැඟීම්බර අවස්ථාවක් බවට පත්විය. චමරිගේ වාර්තාගත පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාවට ජය හිමිවුවද, ජයග්‍රහණය සඳහා නිලක්ෂිකා පිත්තෙන් දැක්වූ සටන්කාමී දායකත්වය අගය කරමින් ඇය සමඟ සම්මානය බෙදා ගැනීමට චමරි ගත් තීරණය නායිකාවකගේ නිහතමානීත්වය මෙන්ම කණ්ඩායම් හැඟීමද මනාව පිළිබිඹු කළ අවස්ථාවක් විය.

නිලක්ෂිකා සහ කාව්‍යා කාවින්දි එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35කදී ලකුණු 50ක සබඳතාවක් ගොඩනැගීම ශ්‍රී ලංකා ඉනිමේ හැරවුම් ලක්ෂ්‍යය විය. කාව්‍යා කාවින්දි පන්දු 19කදී හතරේ පහරක් සමඟ නොදැවී ලකුණු 15ක් රැස් කළ අතර, අවසන් පන්දුවාර කිහිපයේදී සුගන්ධිකා කුමාරි නොදැවී ලකුණු 8ක් ලබාදෙමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 124 දක්වා රැගෙන ගියාය.

ශ්‍රී ලංකා පිතිකරණයේදී සංජනා කාවින්දි ලකුණු 15ක් ලබාගත් අතර, නායිකා චමරි අතපත්තු ලකුණු 9කට දැවී ගියාය. හර්ෂිතා සමරවික්‍රම ලකුණු 5කටත්, කවීෂා දිල්හාරි ලකුණු 6කටත්, කෞෂානි නුත්‍යාංගනා ලකුණු 6කටත්, ඉමේෂා දුලානි ලකුණු 3කටත් දැවී ගියහ.

ශ්‍රී ලංකා පිතිකාරිනියන් පීඩනයට පත් කළ ඉන්දුනීසියානු පන්දු යවන්නියන් අතරින් නි ලූ දේවි පන්දුවාර 4කදී ලකුණු 32කට කඩුලු 3ක් දවාගත් අතර, සංග් මේප්‍රියානි ලකුණු 19කට කඩුලු 2ක් දවා ගත්තාය. නි අරියානි සහ සොෆියා වෙලික් එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

කෙසේ වෙතත්, ලකුණු 125ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දුනීසියානු කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යැවීම හමුවේ කිසිවක් කර ගැනීමට නොහැකි විය. පන්දුවාර හය අවසන් වන විට ලකුණු 22කට කඩුලු 4ක් අහිමිව තිබූ ඉන්දුනීසියාව, පන්දුවාර 10ක් අවසන් වන විට ලකුණු 29කට කඩුලු 5ක් අහිමි කරගෙන සිටියේය.

එතැන් සිට ඉන්දුනීසියානු ඉනිම සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ පාලනයට නතුවූ අතර, අවසානයේ පන්දුවාර 18.3කදී සියලු දෙනා දැවී ඔවුන්ට ලබාගත හැකි වූයේ ලකුණු 49ක් පමණි.

තරගයේ අවසන් අවස්ථාව චමරිගේ විශිෂ්ට පන්දු යැවීම තවත් සුවිශේෂී කළේය. ඉන්දුනීසියානු ඉනිමේ 18 වැනි පන්දුවාරයේදී නි අරියානි, සංග් මේප්‍රියානි සහ දාරා පරමිථා පිට පිට පන්දු තුනකදී දවාගනිමින් චමරි කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කළාය.

චමරිගේ පන්දු යැවීමේ තවත් විශේෂත්වයක් වූයේ තරගයේදී අවස්ථා දෙකකදීම කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමේ අවස්ථාව ඇය වෙත පැමිණීමයි. පළමු අවස්ථාවේදී එය සම්පූර්ණ කරගැනීමට නොහැකි වුවද, දෙවැනි අවස්ථාවේදී පිට පිට කඩුලු තුනක් දවාගනිමින් එම දස්කම සාර්ථකව සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා නායිකාව සමත් වූවාය.

චමරිට අමතරව සුගන්ධිකා කුමාරි පන්දුවාර 3කදී ලකුණු 3කට කඩුල්ලක් දවාගත් අතර, කවීෂා දිල්හාරි පන්දුවාර 3කදී ලකුණු 2කට කඩුල්ලක් දවා ගත්තාය. කාව්‍යා කාවින්දිද එක් කඩුල්ලක් දවාගනිමින් ශ්‍රී ලංකා පන්දු යැවීමේ ආධිපත්‍යයට දායක වූවාය.

ඒ අනුව ශ්‍රී ලංකාව ලකුණු 75ක දැවැන්ත ජයක් වාර්තා කරමින් ආසියානු කුසලාන තරගාවලියේ සිය දෙවැනි තරගය ද ජයග්‍රාහීව අවසන් කළේය.  

ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසනදී කඩුලු 7 ක් දැවී ලකුණු 124 යි – (නිලක්ෂිකා සිල්වා 50, කාව්‍යා කාවින්දි 15*, සංජනා කාවින්දි 15, ඉමේෂා දුලානි 03, චමරි අතපත්තු 09, හර්ෂිතා සමරවික්‍රම 05, කවීෂා දිල්හාරි 06, කෞෂානි නුත්‍යාංගනා 06, සුගන්ධිකා කුමාරි 08*, නි ලූ දේවි 32/3, සංග් මේප්‍රියානි 19/2, නි අරියානි 23/1, සොෆියා වෙලික් 21/1)

ඉන්දුනීසියාව පන්දුවාර 18.3 ක් අවසනදී සියලු දෙනා දැවී ලකුණු 49 යි – (රහ්මවතී පංගේස්තුති 10, පුට්‍රි සුවන්දේවි 12, චමරි අතපත්තු 05/7, කාව්‍යා කාවින්දි 14/1, සුගන්ධිකා කුමාරි 03/1, කවීෂා දිල්හාරි 01/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee