ලකුණු 44කට කඩුලු 5ක් බිඳ වැටී තරගය බංග්ලාදේශය දෙසට හැරෙමින් තිබියදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සටන භාරගත් හර්ෂිතා සමරවික්‍රම, පීඩනය මැද ඉනිම ගොඩනඟමින් 19 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවට එල්ල කළ දැවැන්ත හයේ පහරින් තරගයේ වාසිය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව දෙසට හරවා ගත්තාය. ඒ වන විට අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍යව තිබුණේ ලකුණු 2ක් පමණක් වූ අතර, අවසානයේ පන්දු 4ක් ඉතිරිව තිබියදීම බංග්ලාදේශය කඩුලු 4කින් පරාජය කළ ශ්‍රී ලංකාව කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටය අපරාජිතව අවසන් කරමින් අවසන් කණ්ඩායම් හතර අතර වන අර්ධ අවසන් තරග වටයට අද (06 දා) රාත්රියේදී සුදුසුකම් ලබා ගත්තේය.
ඩුබායිහිදී පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 114ක් රැස් කළේය. ලකුණු 115ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාවට ආරම්භයේදී බංග්ලාදේශ පන්දු යවන්නියන්ගෙන් දැඩි පීඩනයක් එල්ල වූ අතර, ලකුණු 44ක් වන විට ශ්‍රී ලංකාවේ පළමු පිතිකාරිනියන් පස්දෙනාම ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඔවුහු සමත් වූහ.
නායිකා චමරි අතපත්තු ලකුණු 1කට දැවී යාමෙන් ආරම්භ වූ ශ්‍රී ලංකා ඉනිමේදී ඉමේෂා දුලානි ලකුණු 12ක්, සංජනා කවිඳි ලකුණු 9ක් සහ විශ්මි ගුණරත්න ලකුණු 9ක් ලබා දැවී ගියහ. කවිෂා දිල්හාරි ලකුණු 3කට දුවද්දී දැවී යාමත් සමඟ ශ්‍රී ලංකාව ලකුණු 44කට කඩුලු 5ක් ලෙස අසීරු තත්ත්වයකට පත්විය.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේදීම පීඩනයක් ඇති කිරීමට බංග්ලාදේශ වේගපන්දු යවන ක්‍රීඩිකා මරූෆා අක්තර් සමත් වූවාය. සිය පන්දුවාර 4 තුළ ලකුණු 21ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් දවාගත් මරූෆා පළමුව චමරි අතපත්තු සහ ඉමේෂා දුලානිව දවා ගත් ඇය අනතුරුව 17 වැනි පන්දුවාරයේදී යළිත් පැමිණ අත්‍යාවශ්‍යම කඩුල්ලක් වූ 6 වැනි කඩුල්ලේ සම්බන්ධතාව නිලක්ෂිකා සිල්වාගේ කඩුලු දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම අඩපණ කිරීමට ප්‍රධාන දායකත්වයක් ලබා දුන්නාය. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පළමු කඩුලු පහ ලකුණු 44ක් වන විට බිඳ වැටීම පිටුපස මරූෆාගේ පන්දු යැවීමද කැපී පෙනෙන සාධකයක් විය. එහෙත් ඇයගේ එම සාර්ථක පන්දු යැවීම පසෙකට දමමින් හර්ෂිතා සමරවික්‍රම අවසන් අදියරේදී කළ ප්‍රතිප්‍රහාරය හමුවේ බංග්ලාදේශයට ජයග්‍රහණය රැක ගැනීමට නොහැකි විය.
එම අවස්ථාවේදී තරගය බංග්ලාදේශය අතට ගොස් ඇති බවක් පෙනෙන්නට තිබුණද, හර්ෂිතා සමරවික්‍රම තරගය අත්හැරියේ නැත. නිලක්ෂිකා සිල්වා සමඟ එක්ව ඉනිම ගොඩනැගූ හර්ෂිතා, පන්දු යවන්නියන්ට අවස්ථාව ලැබෙන සෑම අවස්ථාවකදීම ලකුණු ලබා ගනිමින් ශ්‍රී ලංකාව නැවතත් තරගයට රැගෙන ආවාය. නිලක්ෂිකා ලකුණු 18කට දැවී ගිය පසුවද හර්ෂිතා සිය අන්තය ආරක්ෂා කර ගනිමින් ජයග්‍රහණය කරා යාමට අවශ්‍ය ලකුණු ප්‍රමාණය ක්‍රමයෙන් අඩු කළාය.
අවසානයේ තරගයේ සියලු අවධානය යොමුවූයේ 19 වැනි පන්දුවාරයේ අවසන් පන්දුව වෙතය. මරුෆා අක්තර්ගේ පන්දුවකට හර්ෂිතා එල්ල කළ දැවැන්ත හයේ පහරත් සමඟ ශ්‍රී ලංකාවට අවසන් පන්දුවාරයේදී අවශ්‍ය වූයේ ලකුණු දෙකක් පමණි. එම ලකුණු දෙකද සම්පූර්ණ කිරීමට වැඩි වේලාවක් ගත නොවීය. අවසන් පන්දුවාරයේ දෙවැනි පන්දුවේදීම ජයග්‍රාහී ලකුණු ලබා ගනිමින් ශ්‍රී ලංකාව තරගය අවසන් කළේ කඩුලු හතරක ජයක් සමඟිනි.
ශ්‍රී ලංකා ජයග්‍රහණයේ සැබෑ වීරවරිය වූ හර්ෂිතා පන්දු 37කදී නොදැවී ලකුණු 48ක් රැස් කළේ හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟිනි. ඇයට අනගි සහායක් ලබාදුන් කෞෂිනි නුත්‍යාංගනා පන්දු 9කදී නොදැවී ලකුණු 11ක් ලබා කඩුල්ලේ රැඳී සිටියාය. මෙම සුවිශේෂී වූ ඉනිම හේතුවෙන් මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින්ද හර්ෂිතා සම්මාන දිනාගත්තාය.
ශ්‍රී ලංකා පන්දු යවන්නියන් ද බංග්ලාදේශයට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට අවස්ථාවක් ලබා නොදුන්හ. චමුදි ප්‍රබෝධා පන්දුවාර 4කදී ලකුණු 21කට කඩුලු 3ක් දවාගත් අතර, සුගන්ධිකා කුමාරි කඩුලු 2ක් දවා ගත්තාය. චමරි අතපත්තු සහ කවිෂා දිල්හාරි එක් කඩුල්ල බැගින් දවා ගත්හ.
බංග්ලාදේශය වෙනුවෙන් සොබානා මොස්තරි ලකුණු 34ක් සහ දිලාරා අක්තර් ලකුණු 26ක් රැස් කළද, ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ පාලනය හමුවේ ඔවුන්ට පන්දුවාර 20 අවසානයේ රැස්කරගත හැකි වූයේ ලකුණු 114ක් පමණි.
මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටයේ සහභාගී වූ තරග සියල්ල ජයගෙන අපරාජිතව අවසන් කණ්ඩායම් හතර අතරට පැමිණියේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 11 වැනිදා පැවැත්වීමට නියමිත දෙවැනි අවසන් පූර්ව තරගයේදී ‘ඒ‘ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායම සමග තරග වැදීමට නියමිතය. ඉන්දියාව එහි පළමු තරගයේදී බී කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායම සමග සැප්තැම්බර් මස 10 වැනිදා තරග වැදීමට නියමිතව සිටියි.
බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ක් දැවී ලකුණු 114 යි – (ඩිලාරා අක්ටර් 26, ජුරයිරා ෆරඩස් 14, සෝභනා මොස්ටරී 34, ෆාටිමා ඛටුන් 14, චමුදි ප්‍ර බෝධා 21/3, සුගන්ධිකා කුමාරි 22/2, චමරි අතපත්තු 20/1, කවීෂා දිල්හාරි 17/1)
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – 115/6 (පන්දුවාර 19.2)
හර්ෂිතා සමරවික්‍රම නොදැවී 48, නිලක්ෂිකා සිල්වා 18, කෞෂිනි නුත්‍යාංගනා නොදැවී 11, ඉමේෂා දුලානි 12, චමරි අතපත්තු 01, සංජනා කාවින්දි 09, විශ්මි ගුණරත්න 09, කවීෂා දිල්හාරි 03, මරුෆා අක්තර් 21/3, සුල්ටානා ඛටුන් 14/1, රිටූ මෝනි 29/1)




