slc
logo
Home   |    News
සැප්තැම්බර් 13, 2026
අවසන් මහ තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 72 ක පරාජයක්

sinhala editor

කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 72 ක ජයක් වාර්තා කළ ඉන්දීය ක්‍රීඩිකාවෝ 2026 තරගාවලියේ ශූරතාව තමන් සතු කර ගැනීමට අද (13 දා) රාත්‍රියේදී සමත්වූහ. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී  පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 5කට ලකුණු 183ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 20 අවසානයේදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 111ක් පමණි.

ඒ අනුව තරගාවලිය පුරාම අපරාජිත ගමනක නිරත වූ ඉන්දීය ක්‍රීඩිකාවෝ ආසියානු කුසලාන ඉතිහාසයේ අටවැනි වරටත් ශූරතාව තමන් සතු කරගත් අතර, විස්සයි-20 ආකෘතිය යටතේ ලැබූ සිව්වැනි ශූරතාව ලෙසින්ද එය සටහන් විය. මෙම ජයග්‍රහණයත් සමඟ ආසියානු කාන්තා ක්‍රිකට් පිටියේ සිය ආධිපත්‍යය තවදුරටත් තහවුරු කිරීමට ඉන්දියාව සමත් විය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා කණ්ඩායමෙන් බලාපොරොත්තු වූ ක්‍රීඩා රටාව මෙම අවසන් මහා තරගයේදී දැකගත නොහැකි විය. පිතිකරණයේදී ඉලක්කයට සරිලන ලකුණු වේගයක් පවත්වා ගැනීමට නොහැකි වූ අතර, පන්දු යැවීමේදී ඉන්දියානු ආරම්භක පිතිකාරිනියන්ට පීඩනයක් ලබා දෙමින් ලකුණු වේගය පාලනය කිරීමටද නොහැකි විය. පන්දු රැකීමේදීද ඉන්දීය කණ්ඩායමේ පන්දු රැකීම තරම් දක්ෂතාවක් නොපෙන්වීම හේතුවෙන්, තරගයේ ප්‍රධාන අවස්ථා තුනෙහිම ඉන්දියාවට වඩා ශ්‍රී ලංකාව පසුපසින් සිටි බව පැහැදිලි විය.

ඉන්දියානු ඉනිමට වේගවත් ආරම්භයක් ලබාදුන් ශෆාලි වර්මා පන්දු 39කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 68ක් රැස් කළ අතර, ස්මෘති මන්දානා පන්දු 39කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 59ක් ලබා ගත්තාය. දෙදෙනා එක්ව පළමු කඩුල්ලට ලකුණු 129ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනැගීම ඉන්දියානු ලකුණු පුවරුව ශක්තිමත් කිරීමට ප්‍රධාන හේතුවක් විය.

ඉනිමේ අවසන් අදියරේදී ගුනලන් කමලිනි පන්දු 5කදී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 15ක් රැස් කිරීමත් සමඟ ඉන්දියාව ලකුණු 183 දක්වා ඉහළ නැංවීය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් චමුදි ප්‍රබෝදා, චාමරි අතපත්තු සහ මිථාලි අයෝධ්‍යා එක් කඩුල්ල බැගින් දවාගත් අතර, පන්දු යැවීමේදී ප්‍රබෝදා ලකුණු 40ක් ලබා දීම නිසා ඇයට ඉන්දියානු පිතිකාරිනියන් පාලනය කිරීම දුෂ්කර විය.

ලකුණු 184ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භයේ සිටම ඉන්දියානු පන්දු යවන්නියන්ගෙන් දැඩි පීඩනයක් එල්ල විය. පළමු පන්දුවාරයේදීම ඉමේෂා දුලානි ලකුණු 4කට දැවී ගිය අතර, චමරි අතපත්තු සහ විෂ්මි ගුණරත්න එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 58ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකාවට යම් බලාපොරොත්තුවක් ලබා දුන්නද, එම සම්බන්ධතාව බිඳ වැටීමෙන් පසු ශ්‍රී ලංකා ඉනිම වේගයෙන් කඩා වැටුණි.

චමරි අතපත්තු ලකුණු 36ක් ලබා ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ අතර විෂ්මි ගුණරත්න ලකුණු 20ක් රැස් කළාය. නිලක්ෂිකා සිල්වා පන්දු 16කදී ලකුණු 22ක් ලබා ගනිමින් වේගවත් ප්‍රහාරයක් දියත් කළද, අනෙක් පිතිකාරිනියන්ගෙන් ප්‍රමාණවත් සහයක් නොලැබීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉලක්කය කරා යාමට නොහැකි විය.

ඉන්දියාව වෙනුවෙන් ශ්‍රී චරනි විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඕවර 4කදී ලකුණු 20කට කඩුලු 4ක් දවාගත්තාය. දීප්ති ෂර්මා ලකුණු 19කට කඩුලු 3ක් දවාගනිමින් ශ්‍රී ලංකා මැද පෙළ සම්පූර්ණයෙන්ම අඩපණ කළ අතර, ප්‍රේමා රාවත් එක් කඩුල්ලක් ලබා ගත්තාය.

2024 වසරේ දඹුල්ලේ පැවැති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව ඉන්දියාව පරාජය කරමින් සිය පළමු කාන්තා ආසියානු කුසලාන ශූරතාව දිනාගත් අතර, මෙවර අවසන් තරගයේ ජයග්‍රහණයත් සමඟ ඉන්දියාව එම පරාජයෙන් අනතුරුව නැවතත් ශූරතාව තමන් සතු කර ගැනීමට සමත් විය.

ඉන්දියාව – 183/5 (ඕවර 20)ස්මිත්‍රී මන්දනා 59, ශෆාලි වර්මා 68, හර්මන්ප්‍රීට් කෝර් 14, රිචා ඝෝෂ් 17, දීප්ති ෂර්මා 5, ගුනලන් කමලිනි නොදැවී 15, චමුදි ප්‍රබෝදා 40/1, චාමරි අතපත්තු 34/1, මිතලි අයෝධ්‍යා 33/1

ශ්‍රී ලංකාව – 111 (ඕවර 20)චාමරි අතපත්තු 36, විෂ්මි ගුණරත්න 20, නිලක්ෂිකා සිල්වා 22, ඉමේෂා දුලානි 04, හර්ෂිතා සමරවික්‍රම 09, කවීෂා දිල්හාරි 07, හසිනි පෙරේරා 01, කෞෂානි නුත්‍යාංගනා 09, සුගන්ධිකා කුමාරි 01, මිතාලි අයෝධ්‍යා 00, චමුදි ප්‍ර බෝධා 00*, ශ්‍රී චරනි 20/4, දීප්ති ෂර්මා 19/3, ප්‍රේමා රාවත් 22/1, ශෆාලි වර්මා 23/1, ක්‍රාන්ති ගෞඩ් 8/1

Active filters

Recent Posts

  • එංගලන්ත අභියෝගයට ශ්‍රී ලංකාව සවුත්හැම්ප්ටන්හිදී පිටියට
    එංගලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) සවුත්හැම්ප්ටන්හි යූටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී මුහුණ දෙයි. කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් T20I තරගාවලියෙන් […]
  • පදක්කමක් සොයා ශ්‍රී ලංකා කාන්තා පිල ජපානය බලා පිටත්වෙයි
    ජපානයේ අයිචි-නාගෝයා නගර ආශ්‍රිතව පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (14) රාත්‍රියේ ජපානය බලා පිටත්ව ගියේය. ආසියානු […]
  • එන්.සී.සී. පරදා එස්.එස්.සී. අවසන් සටනට
    අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී එන්.සී.සී. කණ්ඩායම ලකුණු 46කින් පරාජය කළ එස්.එස්.සී. කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී […]
  • සුපිරි ඕවරයෙන් ටැමිල් යූනියන් අවසන් මහ සටනට
    කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (13) පැවැති අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අතිශය තියුණු සටනකින් පසුව සුපිරි ඕවරයෙන් ජයගත් ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය අවසන් මහ […]
  • අවසන් මහ තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 72 ක පරාජයක්
    කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 72 ක ජයක් වාර්තා කළ ඉන්දීය ක්‍රීඩිකාවෝ 2026 තරගාවලියේ ශූරතාව තමන් සතු කර ගැනීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee