slc
logo
Home   |    News
නොවැම්බර් 30, 2026
අවසන් කඩුල්ලේ වික්‍රමයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ ආසියානු ශූරයෝ වෙති!

sinhala editor

ජයග්‍රහණය පෙනෙන මානයේ තිබියදී හදිසියේම තරගයේ පාලනය ගිලිහී ගියත්, අවසන් කඩුල්ල දක්වා අත් නොහළ සටනකින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ආසියානු ශූරතාව සියතට ගත්තේය. දෝහාහිදී අද (29) පැවැති ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් තරගාවලියේ අවසන් මහා තරගයේදී පාකිස්තාන ‘ඒ’ කණ්ඩායමට එරෙහිව කඩුල්ලක් ඉතිරිව තිබියදී ලද මේ ජයග්‍රහණය, අවසන් මොහොතේ පීඩනය හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ධෛර්යය හා නොසැලෙන විශ්වාසය මැනවින් කියාපාන්නක් විය.

පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම ලබාදුන් ලකුණු 217ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, පන්දු 51ක් ඉතිරිව තිබියදී ලකුණු 220ක් රැස්කරමින් ජයග්‍රහණය තහවුරු කළේය. කඩුලු 9ක් දැවී ගිය එම හඹායෑමේදී අවසන් කඩුල්ලට ලහිරු සමරකෝන් සහ ගරුක සංකේත් එක්ව ගොඩනැගූ ලකුණු 22ක සබඳතාව ශ්‍රී ලංකාවට ශූරතාව හිමිකර දුන් තීරණාත්මක සබඳතාව බවට පත්විය.

පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම කාසියේ වාසියෙන් පසු පළමුව පන්දුවට පහර දෙමින් පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 216ක් රැස් කළේය. පාකිස්තානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ෂහයිබ් ඛාන් පන්දු 91කදී ලකුණු 60ක් රැස් කළ අතර, ෂමයිල් හුසේන් ලකුණු 40ක්, අබ්දුල් සමාද් ලකුණු 33ක් සහ රොහයිල් නසීර් ලකුණු 37ක් ලබාගනිමින් පාකිස්තානු ඉනිමට දායක වූහ.

ශ්‍රී ලංකා පන්දු යැවීමේදී රවිඳු ප්‍රනාන්දු විශිෂ්ට දස්කම් දක්වමින් ලකුණු 26කට කඩුලු 3ක් දවාගත් අතර, ගරුක සංකේත් ලකුණු 46කට කඩුලු 3ක් දවාගත්තේය. වනුජ සහන් ලකුණු 33කට කඩුලු 2ක් දවාගනිමින් පාකිස්තානු ඉනිම පාලනය කිරීමට දායක වූ අතර, නිපුන් ධනංජය එක් කඩුල්ලක් දවාගත්තේය.

ලකුණු 217ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ආරම්භක පිතිකරුවන් වන ලසිත් කෲස්පුල්ලේ සහ සිනෙත් ජයවර්ධන වේගවත් ආරම්භයක් ලබාදුන්හ. කෲස්පුල්ලේ පන්දු 31කදී ලකුණු 26ක් රැස්කරද්දී, සිනෙත් පන්දු 13කදී ලකුණු 20ක් ලබාගනිමින් ශ්‍රී ලංකාවට ශක්තිමත් ආරම්භයක් හිමිකර දුන්හ.

අනතුරුව නිශාන් මධුෂ්ක සහ නායක පවන් රත්නායක එක්ව තෙවැනි කඩුල්ලට පන්දු 85කදී ලකුණු 80ක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. පන්දු 95කදී හතරේ පහර හයක් සහ හයේ පහර දෙකක් සමඟ ලකුණු 87ක් රැස් කළ මධුෂ්ක, ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර, පවන් රත්නායක පන්දු 39කදී ලකුණු 30ක් රැස් කළේය.

ලකුණු 140ක් වන විට කඩුලු දෙකක් පමණක් දැවී තිබූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ජයග්‍රහණය වෙත වේගයෙන් ගමන් කළද, සුෆියන් මොකිම්ගේ පන්දු යැවීම හමුවේ ඉනිමට හදිසි බිඳවැටීමක් ඇති විය. ඔහුගේ පන්දු යැවීමෙන් තරගයේ ගමන්මඟ වෙනස් වූ අතර, ලකුණු 58ක් ඇතුළත කඩුලු 7ක් අහිමි කරගත් ශ්‍රී ලංකාව ලකුණු 198කට කඩුලු 9ක් දැවී අසීරු තත්ත්වයකට පත්විය.

එම අවස්ථාවේදී ජයග්‍රහණය දෙපිල අතර දෝලනය වෙද්දී, අවසන් කඩුල්ල වෙනුවෙන් පිටියට එක් වූ ලහිරු සමරකෝන් සහ ගරුක සංකේත් තරගයේ පීඩනයට නොසැලී පිතිහරඹයේ නිරත වූහ. සමරකෝන් ලකුණු 15ක් නොදැවී රැස්කරද්දී, සංකේත් ලකුණු 4ක් නොදැවී ලබාගත්තේය. ඔවුන් දෙදෙනා එක්ව ගොඩනැගූ ලකුණු 22ක සබඳතාවයෙන් අනතුරුව සමරකෝන් එල්ල කළ හතරේ පහරකින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුල්ලක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය තහවුරු කළේය.

තරගයේ වීරයා ලෙස නිශාන් මධුෂ්ක සම්මාන ලැබූ අතර, තරගාවලිය පුරා ලකුණු 286ක් රැස් කළ ලසිත් කෲස්පුල්ලේ තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේය.

පාකිස්තාන ‘ඒ’ – 216/9 (පන්දුවාර 50) – ෂමයිල් හුසේන් 40, ෂහයිබ් ඛාන් 60, අබ්දුල් සමාද් 33, රොහයිල් නසීර් 37, රවිඳු ප්‍රනාන්දු 26/3, ගරුක සංකේත් 46/3, වනුජ සහන් – 33/2

ශ්‍රී ලංකා ‘ඒ’ – 220/9 (පන්දුවාර 41.3) – නිශාන් මධුෂ්ක 87, ලසිත් කෲස්පුල්ලේ 26, සිනෙත් ජයවර්ධන 20, පවන් රත්නායක 30, ලහිරු සමරකෝන් (නොදැවී) 15, ගරුක සංකේත් (නොදැවී) 4, අලී රාසා 58/3, සුෆයන් මොකීම් 55/2

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar