ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමන වෙනුවෙන් නව නායකත්වයක් අත්හදා බැලීමේ අවස්ථාවක් ලෙස මෙවර අයි.සී.සී. කාන්තා නැගී එන කණ්ඩායම් කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හර්ෂිතා සමරවික්‍රමට පවරා තිබේ. ක්‍රීඩිකාවන් 14 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයේ උපනායිකාව ලෙස කවීෂා දිල්හාරි නම් කර ඇති අතර, තරගාවලිය නොවැම්බර් 12 වැනිදා සිට 25 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන්හිදී පැවැත්වීමට නියමිතය.
මෙවර තරගාවලිය සඳහා පූර්ණ සාමාජික රටවල් පහක් වන ශ්‍රී ලංකාව, අයර්ලන්තය, බංග්ලාදේශය, පාකිස්තානය සහ සිම්බාබ්වේ සමඟ නෙදර්ලන්තය, පැපුවා නිව්ගිනියාව, ස්කොට්ලන්තය, තායිලන්තය සහ සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද එක්ව සිටියි.
කණ්ඩායම් 10 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන තරගාවලියේදී ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින අතර, එම කාණ්ඩයට අයර්ලන්තය, ස්කොට්ලන්තය, පැපුවා නිව්ගිනියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළත් වේ. පාකිස්තානය, බංග්ලාදේශය, තායිලන්තය, නෙදර්ලන්තය සහ සිම්බාබ්වේ ‘බී’ කාණ්ඩයෙන් තරග වදියි.
ශ්‍රී ලංකා කණ්ඩායම නොවැම්බර් 12 වැනිදා අයර්ලන්තයට එරෙහිව තරග වදිමින් සිය තරගාවලි ගමන ආරම්භ කිරීමට නියමිතය. කාණ්ඩ වටයේ තරග නොවැම්බර් 18 වැනිදා දක්වා පැවැත්වෙන අතර, එක් එක් කාණ්ඩයේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් තුන සුපිරි හය දෙනාගේ වටයට සුදුසුකම් ලබනු ඇත.
සුපිරි හය දෙනාගේ වටයේ තරග නොවැම්බර් 20, 22 සහ 23 යන දිනවල පැවැත්වෙන අතර, එම වටය අවසානයේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක නොවැම්බර් 25 වැනිදා කරවාන් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.
2025 වසරේදී පැවැති මෙම තරගාවලියේ පළමු අදියරේ ශූරතාව දිනා ගැනීමට තායිලන්ත කණ්ඩායම සමත් වූ අතර, එහිදී කණ්ඩායම් අටක් තරග වැදුණි. මෙවර එම සංඛ්‍යාව 10 දක්වා ඉහළ නැංවීම විශේෂත්වයකි.
මෙම තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය ද හිමිව තිබේ.
ශ්‍රී ලංකා සංචිතය
- හර්ෂිතා සමරවික්‍රම (නායිකා)
- කවීෂා දිල්හාරි (උපනායිකා)
- සංජනා කාවින්දි
- ඉමේෂා දුලානි
- හසිනි පෙරේරා
- විශ්මි ගුණරත්න
- නිලක්ෂිකා සිල්වා
- කෞෂිනී නුත්‍යාංගනා
- රශ්මිකා සෙව්වන්දි
- චමුදි ප්‍රබෝධා
- මල්කි මදාරා
- චේතනා විමුක්ති
- සුගන්ධිකා කුමාරි
- සත්‍යා සන්දීපනී




