පාකිස්තානයේ තරග සංචාරයක නිරත ශ්රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තුන් දින පුහුණු තරගයේ පළමු දිනය වූ අද (04දා)නිමා වන විට සිය පළමු ඉනිම ක්රීඩා කරන පාකිස්තාන ක්රිකට් පාලක මණ්ඩලයේ අනුග්රාහක කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 43ක් ලබා සිටියේය.
ඉස්ලාමාබාද්හි ඉස්ලාමාබාද් ක්ලබ් ක්රිකට් ඕවල් ක්රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 223ක් ලබා සිටියදී අත්හිටුවීමට තීරණය කළේය.
ශ්රී ලංකා ඉනිමේ කැපී පෙනෙන පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ලහිරු උදාර සහ නායක කුසල් මෙන්ඩිස් අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූහ. ලහිරු උදාර පන්දු 105කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 65ක් රැස් කළ අතර, කුසල් මෙන්ඩිස් පන්දු 72කදී හතරේ පහර 11ක් සමඟින් ලකුණු 66ක් ලබා ගත්තේය.
ඊට අමතරව අංජල බණ්ඩාර පන්දු 61කදී හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 33ක් රැස් කළේය. ධනංජය ද සිල්වා ලකුණු 14ක් සහ සොනාල් දිනූෂ ලකුණු 10ක් ලබා ගත්හ. පසිඳු සූරියබණ්ඩාර ලකුණු 8කට දැවී ගිය අතර, කේසර නුවන්ත නොදැවී ලකුණු 8ක් ලබා සිටියේය.
දිනේෂ් චන්දිමාල් සහ මිලාන් රත්නායක ලකුණු නොලබා දැවී ගියහ.
පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් සකීබ් ඛාන්, මොහොමඩ් සල්මාන් සහ අලි ෂබීර් කඩුලු 2 බැගින් දවා ගත් අතර උබයිඩ් ෂා එක් කඩුල්ලක් බිඳ හෙළීය.
පිළිතුරු ඉනිම ක්රීඩා කරන පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් අසාන් අවයිස් නොදැවී ලකුණු 19ක් සහ මොහොමඩ් තහා නොදැවී ලකුණු 16ක් ලබා කඩුල්ලේ රැඳී සිටිති.
ශ්රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ මිලාන් රත්නායක ලකුණු 9කට එක් කඩුල්ලක් දවා ගත් අතර දිල්ෂාන් මදුශංක ලකුණු 12කට එක් කඩුල්ලක් දවා ගත්තේය.
ලකුණු සාරාංශය
ශ්රී ලංකාව – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 223 (පන්දුවාර 58)
ලහිරු උදාර 65, කුසල් මෙන්ඩිස් 66, අංජල බණ්ඩාර නොදැවී 33, ධනංජය ද සිල්වා 14, සොනාල් දිනූෂ 10, සකීබ් ඛාන් 28/2, මොහොමඩ් සල්මාන් 52/2, අලි ෂබීර් 28/2.
පාකිස්තාන ක්රිකට් පාලක මණ්ඩලයේ අනුග්රාහක කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 43 (පන්දුවාර 15)
අසාන් අවයිස් නොදැවී 19, මොහොමඩ් තහා නොදැවී 16, මිලාන් රත්නායක 09/1, දිල්ෂාන් මදුශංක 12/1
තරගයේ දෙවැනි දිනය හෙට (5) පැවැත්වීමට නියමිතය.




