අයි.සී.සී. කාන්තා නැගී එන කණ්ඩායම් කුසලාන ක්රිකට් තරගාවලියේ සිය පළමු තරගයට සහභාගි වූ ශ්රී ලංකා කාන්තා නැගී එන කණ්ඩායම, අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව කඩුලු 10 ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට අද (12) සමත් විය.
අජ්මාන්හිදී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කාන්තා කණ්ඩායමට ශ්රී ලංකා පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 105 ක් පමණි.
එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සත්යා සංදීපනී ලකුණු 9 කට කඩුලු 3 ක් දවා ගනිමින් අයර්ලන්ත ඉනිම පාලනය කිරීමට සමත් වූවාය. ඊට අමතරව කවිෂා දිල්හාරි ද ලකුණු 20 කට කඩුලු 3 ක් දවා ගත් අතර චේතනා විමුක්ති ලකුණු 26 කට කඩුලු 2 ක් බිඳ හෙළුවාය.
ලකුණු 106 ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායම, කිසිදු කඩුල්ලක් නොදැවී පන්දුවාර 13 ක් අවසානයේ ලකුණු 110 ක් රැස්කරමින් ජයග්රහණය තහවුරු කළේය.
එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ විශ්මි ගුණරත්න පන්දු 37 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 53 ක් රැස් කළාය. ඇයට අනගි සහායක් ලබාදුන් හසිනි පෙරේරා පන්දු 41 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 53 ක් ලබා ගත්තාය.
පන්දු යැවීමෙන් දැක්වූ විශිෂ්ට දක්ෂතාව වෙනුවෙන් තරගයේ දක්ෂතම ක්රීඩිකා සම්මානය සත්යා සංදීපනීට හිමි වූවාය.
අයර්ලන්ත කාන්තා කණ්ඩායම – 105/9 (පන්දුවාර 20) – ලුවිස් ලිට්ල් 28, ඇමී හන්ටර් 21, ලෝරා ඩෙලනි 15, ලාරා මැරිට්ස් 13, ඇබී හැරිසන් නොදැවී 13, සත්යා සංදීපනී 9/3, කවිෂා දිල්හාරි 20/3, චේතනා විමුක්ති 26/2
ශ්රී ලංකා කාන්තා කණ්ඩායම – 110/0 (පන්දුවාර 13) – විශ්මි ගුණරත්න නොදැවී 53, හසිනි පෙරේරා නොදැවී 53





