slc
Home   |    News
ජූලි 24, 2019
“ලෝක කුසලානයේදී නායකත්ව වගකීම මා ඉටුකළා” දිමුත් කරුණාරත්න

Sri Lanka Cricket

ලෝක කුසලාන තරග ක්‍රීඩකයන්ගේ විමසුමෙන්…………..

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී තමා නායකත්වයේ වගකීම හොදින්  ඉටුකළ බව විශ්වාස කරන්නේ යැයි එම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් දිමුත් කරුණාරත්න ප්‍රකාශ කරයි.

 “කණ්ඩායමේ සියළුම ක්‍රීඩකයන්ගෙන් මට සම්පූර්ණ සහයෝගය ලැබුණා. එය කවුරුත් දකින්නත් ඇති. ඒ වගේම මමත් සැමටම සමබරව සැළකුවා. කළින් ඇතුළත ප්‍රශ්ණ තිබුණයැයි කටකතා හා ප්‍රචාර තිබුණත් මා ඒවා ගැන දැනසිටියේ නෑ. මෙවර එක්දින නායකත්වය මා හට පිරිනැමෙන අවස්ථාවේ මුලින් මද චකිතයක් තිබුණත් තරගාවලිය ආරම්භ වන විට සියල්ල යථා තත්ත්වයට පත්වුවා.”

 ලෝක කුසලාන තරගාවලියේ අපේ ආරම්භය එතරම් සාර්ථක නොවූ අතර අවසාන භාගය වන විට අප ප්‍රබල තත්ත්වයකට පත්වෙමින් සිටියා. මා විශ්වාස කරනවා ඕස්ට්‍රේලියාව සමග තරගය අපට ජයගැනීමට තිබූ අවස්ථාවක් කියා. තරග කිහිපයක් අසාර්ථක වූයේ මැද පෙළ පිතිකරුවන් ලකුණු අතරට නොපැමිණිමෙනි.එයත් අවසාන භාගය වන විට ක්‍රමයෙන් සාර්ථක වූවා.

දකුණු අප්‍රිකාව සමග තරගය ජයගත යුතුමැයි උවමනාවට වඩා බොහෝදෙනාගේ විශ්වාසයක් පැවතීම ද එය අසාර්ථක වීමට එක් හේතුවක් යැයි මා විශ්වාස කරනවා. සැලසුම් කරන සමහරදේ හරියාමත් තවත්දෙයක් වැරදීමත් ස්වාභාවිකයි. බොහෝ අය මා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් යැයි කීවත් මගේ ක්‍රිකට් දිවිය ඇරැඹුණේ 2011 ජූලි මස එංගලන්තය සමග එක්දින තරගයකින්. එක්දින තරගයක වේගවත් වෙන්න ඕනි කුමන වේලාවක ද වේගය අඩු කරන්න ඕනි මොන වේලාවේද යන්න මා හොදින් දන්නවා.ඕවර 50 තරගයකදී මා ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිස ශතකයක් හෝ ඒ ආසන්නයට මා යනවානම් සෙසු පිතිකරුවන් එය ආශ්‍රිතව (එයවටා ) පන්දුවට පහරදීමෙන් කණ්ඩායම විශාල ලකුණු සංඛ්‍යාවක් කරා ගෙන යා හැකියි.

තව වසර හතරකින් ඉන්දියාවේ පැවැත්වෙන (2023) මීළග ලෝක කුසලාන තරගාවලිය ජයගැනීමට අපේක්ෂා කරන ප්‍රබල කණ්ඩායමක් ගෙන යාමට නම් දැන් සිටම තරුණ ක්‍රීඩකයන් 3-4ක් ඒ වෙනුවෙන් පුහුණු කරවීමටත් මෙවර ආබාධ මත එහි නොගිය දෙතුන්දෙනෙක් නැවත උපරිම තත්ත්වයට  පත් කර ගැනීමටත් අප දැන් සිටම ක්‍රියා කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළේය.

 1988 අප්‍රේල් 21 වැනිදා කොළඹ දී උපත ලද ෆ්‍රෑන්ක් දිමුත් මධුශංඛ කරුණාරත්න කුඩා කළ සිට අවුරුදු 13න් පහළ වන තෙක් අධ්‍යාපනය හැදෑරුවේ සහ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධව සිටියේ සුසමය වර්ධන විදුහලෙනි. අවුරුදු 15න් පහළ තෙක් වසර දෙකක් දිමුත් කොළඹ අසෝක විදුහලේ ඉගෙනුම ලැබීය. පසුව ක්‍රිකට් ක්‍රීඩාවේ පන්නරය ලබාගත්තේ මරදාන ශාන්ත ජොසප් විදුහලට ඇතුලුව හර්ෂ ද සිල්වා පුහුණුකරුගේ මග පෙන්වීම යටතේය. එකම වයස් කාණ්ඩවල නොසිටියත් මැතිව්ස්,තිසර හා රොෂේන් සිල්වා ඔහුගේ සමකාලීනයෝය.ජාතික තලයට පැමිණි පසු දිමුත්ගේ පුහුණුකරුවූයේ අවිශ්ක ගුණවර්ධනය.

 දිමුත් කරුණාරත්නගේ පියා ලාල් කරුණාරත්න පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පලෙහි (ගමනාගමන) කාල සටහන්කරුවෙකි. මව ගෘහණියකි. දිමුත් 2015 අප්‍රේල් 21 වැනිදා ටෙලිඩ්‍රාමා ශිල්පිනියක හා මෝස්තර නිරූපිකාවක වන අනුරාධා කුරුකුලසූරිය සමග විවාහ විය. විවාහ මංගල්‍ය හුනුපිටිය ගංගාරාමයේ පැවැති අතර ඊට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගිවූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.

2017 නොවැම්බර් 17 වැනිදා නවසීලන්තය සමග ටෙස්ට් පිටියට මුලින් පිවිසි මොහු ටෙස්ට් තරග 60කදී ලකුණු 4074ක් ලබා සිටින්නේ ශතක 8ක් හා අර්ධ ශතක 25ක් සමගිනි.ඉනිමක සමාන්‍ය ලකුණු 36.05ක් වන අතර ඉනිමක වැඩිම සංඛ්‍යාව 196කි. 2011 ජූලි මස 9වැනිදා එංගලන්තය සමග ප්‍රථමවරට එක්දින තරගයකට සහභාගි වූ මොහු එක්දින තරග 25කදී ලකුණු 489ක් ලබා සිටින්නේ අර්ධ ශතක 4ක් සමගය. එක්දින ඉනිමක සාමාන්‍ය සංඛ්‍යාව 25.73ක් වන අතර ඉනිම වැඩිම සංඛ්‍යාව 97කි. (ඕස්ට්‍රේලියාව සමග) ටෙස්ට් තරගයක දෙවන ඉනිමේ ශතක ලැබීමේ වීරයෙකු ලෙස මොහු කළක් ප්‍රචලිතව සිටියේය.

දිමුත් කරුණාරත්න 2019 පෙබරවාරි මස ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වයටත් 2019 අප්‍රේල් මස ශ්‍රී ලංකා එක්දින නායකත්වයටත් පත්විය. ඔහු එස්.එස්.සී.කණ්ඩායම නියෝජනය කරයි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest