slc
logo
Home   |    News
අගෝස්තු 29, 2019
“කිවී ජයග්‍රහණයේ ” තිරයේ පිටුපස කතාව

Sri Lanka Cricket

සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා – නවසීලන්ත පස්දින ටෙසට් තරගයේ සිව්වන දින තරගය නිමාවන විට කණ්ඩායම් දෙකම මුල් ඉනිමවත් නිමාවට පත්කර තිබුණේ නොමැත. සිව්වන දින රාත්‍රි 7 සිට පසුදින අළුයම හය දක්වාම මේ ප්‍රදේශයට මහ වැසි ඇද හැළුණේ විදුලි සැර අකුණු සහිතවය. අළුයම හයවන විට ක්‍රීඩාංගණය ආවරණය කර තිබු ආවරණවලට උඩින් ඈතට දිස්වූයේ වතුර විලක්ය. ආශ්චර්යයකි. හරියට උදේ 10.15 ක්‍රීඩාංගණයේ වතුර පොදක්වත් නොමැතිව තරගය ආරම්භවී නවසීලන්ත මුල් ඉනිමේ තවත් කඩුල්ලක් ද දැවී ඉනිමද නිමාවී සවස 4.45 වන විට තරගයේ ප්‍රතිඵලයක් ද වාර්තාවූයේ ශ්‍රී ලංකාවේ දෙවන ඉනිමේ ඉතිරි කඩුලු දහය ද දැවී යාමෙනි.

වරින් වර ඇද හැළුණු වර්ෂාව මත මේ තරගයේ ප්‍රථම දිනයේ යැවුණේ ඕවර 36.3කි දෙවන දින යැව්වේ ඕවර 29.3කි. මේ දෙදිනම තරගය පැවැත්වූයේ ඕවර හැටහයකි. සිව්වැනි දිනයේ යැවුණේ ඕවර 48කි. මේ දවස් තුනේම යවන ලද්දේ ඕවර 114ක් වැනි අඩු සංඛ්‍යාවකි. ප්‍රථම දිනයේ සිට අවසාන දින උදෑසනතෙක්ම වරින් වර ඇද හැළුණු මහ වර්ෂාව අභිබවමින් තරග ප්‍රතිඵලයක් ද අත්කර දෙමින් මේ තරගය පැවැත්වූයේ කෙසේද?

තරගයට පෙර දින (21) සිටම අවසානය තෙක් ගැටව් රෑනක් වර්ෂාව සමග පොර බදිමින් වර්ෂාවෙන් පිටිය ආරක්ෂා කරන අයුරු කදිම දර්ශනයකි. වර්ෂාව ඇද හැලෙනවිටම සිව්දෙසින් තරුණ පිරිස් දුවගෙනවිත් ආවරණ යොදා ක්‍රීඩාංගණය වසා ගනිති.වර්ෂාව නවතිනවාත් සමග යළි ක්‍රියාත්මක වන මේ තරුණයෝ යුහුසුළුව ආවරණ ඉවත්කර ක්‍රීඩාංගණය යළි භාරදෙති. මෙවැන්නක් සිදු නොවූයේ නම් සිද්ධවනුයේ මීට කළකට පෙර මෙන් ක්‍රීඩාංගණයේ තැනින් තැන ජලය පිරී තරග අත්හිටුවීමය. වෙනත් රටවල අද තවමත් මෙය එසේ පවතී.

සරවනමුත්තු (ඕවල්) ක්‍රීඩාංගණයේ තණතිල්ලේ සිට හතරේ සීමාවතෙක් මුළු ක්‍රීඩාංගණයම වසා දැමීමට මේ තරුණයට අවශ්‍යවන්නේ යාර සියයක් දිග සියයක් පළල ආවරණ 24කි. වර්ෂාව පැමිණෙන විට ඔවුන් මුලින් කරන්නේ පිටියේ දෙපසින් ආවරණ දෙකක් රැගෙන දුවගෙනවිත් තණතිල්ල හා අවට ප්‍රදේශය වසා දැමීමයි. ඒ සමගම අනෙක් දෙපසින් තවත් ආවරණ දෙකක් දුවගෙනවිත් පන්දු යවන දෙපස ආවරණය කරයි. මේ සදහා ඔවුන් ගතකරන්නේ මිනිත්තු පහක කාලයකි. මේ කාර්යය මණ්ඩලයට 120ක පිරිසක් අයත්වේ. මුල් ආවරණ හතර යෙදු පසු කණ්ඩායමකට තරුණයන් 25 බැගින් හතරවටෙන්ම ආවරණ රැගෙන දුවවිත් පිටිය සම්පූර්ණයෙන්ම වසා දමයි. ඒ සදහා ඔවුනට ගතවන්නේ මිනිත්තු 15-20 ක කාලයකි.

මේ කාර්යයේ ප්‍රධානියා අජිත් ප්‍රියන්තය. කවුරුත් ඔහු අමතන්නේ කුමාර් යන නාමයෙනි. මා මේ ක්‍රීඩාංගණයට ආවේ තණකොළ කපන්න සහ තණකොළ පැල සිටුවීමටයි. මා මෙහි එනවාට වයස අවුරුදු 17යි. දැන් වයස 35යි. මා එන විට ක්‍රීඩාංගණය සකස් කළේ අමරාවතී කියා ද්‍රවිඩ කාන්තාවක් ඇය දීර්ඝ කාලයක සිට මෙහි සේවය කරනවා. පසුව මා සමන් සිල්වා යටතේත් ඉන්පසු ජයරත්න යටතේත් මේ ක්‍රීඩාංගණයේ සේවය කළා. අද ක්‍රීඩාංගණයේ ග්‍රවුන්ඩ්ස්මන් මමයි යනුවෙන් කුමාර් කියයි.

අපට ආවරණ අයින්කරන්න වේලායන්නේ ඒවා උඩින් සම්පූර්ණයෙන් වතුර පිරී තිබෙන විට පමණයි. එවිට මිනිත්තු 40-45ක් ඊට ගතවනවා. ඉවත් කරන ජලය කාණු පද්ධති මගින් ඉදිරියේ ගලි දෙකකට යවනවා. වතුර මෝටර් දෙකක් යොදා අප මේ ජලය ඉදිරිපස අනෙක් ජලයත් සමග පිටිය ඉදිරිපිට වනාතමුල්ල කුණු ඇලට හරවායවනවා. ක්‍රීඩාංගණයේ කොතැනක හෝ ජලය ඉතිරිව ඇත්නම් ඒවා ස්පොන්ච් යොදා අරගෙන මිරිකා හැර ලී කුඩු එම ස්ථානවලට දමා ක්‍රීඩාංගණය අම්පයර්ලාට (විනිසුරුවන්ට) භාරදෙනවා යැයි කුමාර් මුව සරසාගෙන සැහැල්ලුවකින් පවසයි. මොනතරම් වැස්සත් පිට්ටනිය ආරක්ෂා කරගන්න අපට පුළුවන් යැයිද ඔහු කියයි.

මොවුන්ගේ මෙම කාර්යයන් නොවන්නට නවසීලන්තයට දෙවන ටෙස්ට් තරගයෙන් ජයලැබීමට අවස්ථාවක් කොහෙත්ම උදාවන්නේ නොමැත.

මේ  තරුණ පිරිස් මේ කාර්යයන් ඉටුකරන්නේ දැඩි උනන්දුවකිනි. තම කාර්යය නිමවී තරග ආරම්භ වූ පසු ඔවුන් පසෙක වාඩිවී තරග නරඹමින් ලංකා ක්‍රීඩකයන් උනන්දු කිරීමට අත්පොලොසන් දෙන ආකාරයත් ඔල්වරසන් හඩ නඟන ආකාරයත් ඈත සිට බලන අයෙකුට දක්නට ලැබේ.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest