slc
logo
Home   |    News
සැප්තැම්බර් 1, 2019
සංගාට මිතුරන්ගේ උපහාර

Sri Lanka Cricket

ටෙස්ට් ක්‍රිකට්, ලෝක කුසලාන ක්‍රිකට් ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් වාර්තා රැසක් බිහිකර ඇති ශ්‍රී ලංකාවෙන් බිහිවු විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාරට උපහාර පිදීමට ඔහු නියෝජනය කළ මෙට්ලන්ඩ් පෙදෙසේ එන්.සී.සී.ක්‍රීඩා සමාජය සැරසෙයි. තම ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ජාතික හා ජාත්‍යන්තරයට පිවිස තම මව්බිමට විශාල කීර්තියක් අත්කර දුන් මේ ක්‍රීඩකයා වෙනුවෙන් ඔවුන් උපහාර පිදීමේ උත්සවය සංවිධානය කර ඇත්තේ සැප්තැම්බර් මස 5 වැනිදා සවස එම ක්‍රීඩාංගණයේදීමය.

උපහාර පිදීමේ උත්සවයේ පරමාර්ථය වනුයේ වසර 15ක ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඔහුගේ දක්ෂතා ඇගයීමට සහ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණය අයත් වන එම්.සී.සී.ක්‍රිකට් සමාජයේ සභාපති ධුරයට පත් බ්‍රිතාන්‍ය පුරවැසියකු නොවන ප්‍රථම විදේශිකයා වීම නිමිත්තෙනි.

සංගක්කාර සමග එකට ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලුණු ක්‍රීඩකයන් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් මේ අවස්ථාවට සහභාගිවීමට නියමිතය. ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයන් වන මයිකල් තිසේරා, අනුර තෙන්නකෝන්, බන්දුල වර්ණපුර, රන්ජන් මඩුගල්ලේත් හිටපු නම් දැරූ ක්‍රීඩකයන් වන වෛද්‍ය එච්.අයි.කේ.ප්‍රනාන්දු, රන්ජිත් ප්‍රනාන්දු, චන්ද්‍රා සාෆ්ටර් ඇතුළු එන්.සී.සී සමාජයේ හිටපු සභාපතිවරුන් සහ සාමාජිකයන් ද මේ අවස්ථාවට සහභාගිවෙති.

ප්‍රවීණ චිත්‍ර ශිල්පි ජයන්ත ද සිල්වාගේ කෙළි තුඩින් සිත්තම් කරන ලද කුමාර සංගක්කාරගේ උඩුකය සහිත සේයාරුවක් මෙදින නිරාවරණය කිරීමට නියමිතය. සැප්තැම්බර් 5 වැනිදා සවස 6.00ට ආරම්භ වන මේ උපහාර උත්සවයේ පිළිගැනීමේ කතාව එන්.සී.සී සමාජයේ වත්මන් සභාපති ග්ලැඩ්වින් ආනන්දප්පා සිදුකරයි. කුමාර් සංගක්කාරගේ ක්‍රිකට් දක්ෂතා සහ ඔහු පිළිබදව විග්‍රහයක් කරනුයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක රසල් ආනල්ඩ්ය. කුමාර් සංගක්කාර මෙදින විශේෂ දේශණයක්ද පැවැත්වීමට නියමිතය. ස්තූති කතාව පවත්වනුයේ හිටපු සභාපති මාලන් රණසිංහය.

1977 ඔක්තෝබර් 27 වැනිදා මාතලේ දී උපත ලද කුමාර් සංගක්කාර ලබන ඔක්තෝබර් මාසයේ දී 42වන වියට පා තබයි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා රැසක්ද ලෝක කුසලාන වාර්තාද තබා ඇති අතර ද්විත්ව ශතක ලැබීමේදී දෙවැනි වන්නේ ඩොන් බ්‍රැඩ්මන්ට පමණි. 2000 වසරේ සිට 2015 දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කළ කුමාර් සංගක්කාර ටෙස්ට් තරග 134කදී ලකුණු 12400ක් ලැබුවේ ශතක 38ක් අර්ධ ශතක 52ක් සමගය. (සාමාන්‍ය 57.4) එක්දින තරග 404කට සහභාගිවී ලකුණු 14234ක් ලබැ ඇත්තේ ශතක 25ක් හා අර්ධ ශතක 93ක් සමගය. (සාමාන්‍ය 42යි) 20-20 තරග 56කදී ලකුණු 1382ක් ලබාසිටින්නේ අර්ධ ශතක අටක් සමගය. කඩුලු රකින්නනා ලෙස ටෙස්ට් උඩපන්දු 182ක්ද එක්දින උඩපන්දු 402ක් ද අල්ලා ඇත. කුමා මේ කණ්ඩායම් වලට නායකත්වය දී තිබේ.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest