slc
logo
Home   |    News
දෙසැම්බර් 18, 2019
පාකිස්තානු පිතිකරුවන් පාලනය කිරීමට පන්දු යවන්නෝ සැරසෙති

Sri Lanka Cricket

පීඩනයක් ගොඩ නඟා කඩුලු දවා ගත යුතුයි – ටෙස්ට් තරගයේ සැලැස්ම ගැන මිකී ආතර්ගෙන් ඉඟියක්

Chamila Karawita reporting from Karachi

රාවල්පිණ්ඩිහි පැවැති ටෙස්ට් තරගය අවසානයත් සමඟ දෙවැනි ටෙස්ට් තරගයට සහභාගිවීම සදහා කරච්චි නුවරට පැමිණ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද (17 දා) සිය පළමු පුහුණු සැසියට සහභාගිවිය. ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්ම පාකිස්තානු කණ්ඩායමද කරච්චි ක්‍රීඩාංගණයේදී පුරා හෝරා 4 කට අධික කාලයක් පුහුණුවීම් වල නිරත වුණු අතර එහිදී දේශීය මෙන්ම විදේශීය මාධ්‍යයන්හි වැඩිම අවධානයක් යොමු වූයේ ඉකුත් අගෝස්තු මස වන තෙක් පාකිස්තානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළ මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන මිකී ආතර් මහතා වෙතය.

ප්‍රධාන තණතීරුවේ වම් පස වන්නට වූ තණතීරුවේ සහ වම් පස කෙළවරෙහි පිහිටා තිබෙන තණතීරුවල සිය පිතිකරණ පුහුණුවීම් වල නිරතවනු දැක ගන්නට ලැබුණු අතර එහිදී එම දැල් අතරට ගිය මිකී ආතර් පන්දුවට පහර දුන් පිතිකරුවන් සියල්ල දැඩි අධීක්ෂණයකට ලක් කරමින් සිටින අයුරුද දැක ගන්නට ලැබුණි. පෙ.ව. 10  සිට පුහුණුවීම් ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරණ අනුපිළිවෙලට අනුව පුහුණු දැල් තුළත් ප්‍රධාන තණතීරුවේතී පුහුණුවීම් වල නිරත වූහ.

පිණ්ඩි තණතීරුව මෙන් නොව කරච්චි තණතීරුව පිතිකරුවන්ගේ පාරාදීසයක් ලෙසින් සැලකෙන නමුත් එහි ටෙස්ට් තරගයක් පැවැත්වෙනු ලබන්නේ වසර 10 කට පසුව බැවින් එහි තත්ත්වයන් පිළිබඳව අනාවැකි පළ කිරීම එතරම් සුභ දායක නොවනු ඇත. කෙසේ වෙතත් ඒ සඳහා මූලික පිඹුරු පත් සකසමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ආබාධයකට ලක්ව සිටින වේග පන්දු යවන කසුන් රජිත වෙනුවට වමතින් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණියව තරගයට සූදානම් කරන අයුරු පුහුණුවීම් වලදී දැක ගැනීමට ලැබුණි.

සියළුම ක්‍රීඩකයින් පුහුණුවීම් අවසානයේ සිය විවේකාගාරයට ගිය නමුත්, මිකී ආතර් සහ සහාය පුහුණුකරු රොමේෂ් රත්නායක දෙදෙනා එක්ව පුරා හෝරා භාගයකට ආසන්න කාලයක් තිස්සේ ඇඹුල්දෙණියට ඔවදන් දෙමින් නියමිත ස්ථානයේ පන්දු යැවිය යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගනු ලැබුවේ සංචිතයේ සිටින අනෙක් දඟ පන්දු යවන්නා වන ලක්ෂාන් සඳකැන්ට දෙවැනි තරගයට අවස්ථාවක් නොමැති බවට වූ ඉඟි පළ කරමිනි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික සැලැස්ම බවට පත්ව ඇත්තේ දෙවැනි ටෙස්ට් තරගයේදී පාකිස්තානු පිලේ කඩුලු 20 දවා ගැනීම කෙරෙහි. පළමු ටෙස්ට් තරගයේදී පාකිස්තානු පිල පන්දුවාර 70 ක් ක්‍රීඩා කළත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් දවා ගැනීමට සමත් වූයේ කඩුලු 2 ක් පමණි. පාකිස්තානු පිතිකරුවන් එම තරගයේදී තරමක් වේගයෙන් ලකුණු රැස් කළ අතර එය ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පාලනය කළ නොහැකි මට්ටමේ පැවැතීම එකී අවධානය වැඩි වීමට හේතු වී තිබේ. එම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන ලද ප්‍රධානම දඟ පන්දු යවන්නා වන ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවාරයකට ලකුණු 3.54 ක සාමාන්‍යක් රඳවා ගැනීමට බාබර් අසාම් සහ අබීඩ් අලී සමත්වූ අතර දෙවැනි දඟ පන්දු යවන්නා වුණු ධනංජය ද සිල්වාගේ පන්දුවාරයකට 4.36 ක වේගයක් රඳවා ගැනීමට පිතිකරුවන් දෙපළ සමත්වූහ. කරච්චි තණතීරුවද පිතිකරුවන්ගේ රජ දහනක් ලෙස හැසිරෙන බැවින් කළ යුතු හොඳම දේ පිළිබඳව ශ්‍රී ලංකා පුහුණු කාර්යය මණ්ඩලය අවධානය යොමු කර තිබේ.

“ඇත්තටම බාබර් (අසාම්) සහ අබීඩ් (අලී)ගේ දක්ෂතා ගැන මම පුදුම වෙන්නේ නෑ. නමුත් අපිට මීට වඩා හොඳට පන්දු යවන්න තිබුණා. අපි පුහුණුවීම් වලදී ගොඩක්ම අවධානය යොමු කළේත් මොවුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය පාලනය කරමින් කඩුලු දවා ගැනීම පිළිබඳව. මට දැනෙන විදියට ඔවුන් පන්දුවට පහර දුන්න වේගය ටිකක් වැඩියි. තරගයේ පස්වැනි දිනය වුණත් තණතීරුව හරියට දෙවැනි දිනයේදී දකින්නට තිබුණ එකක් වගේ. අපිට මේ තරගයේදී වැදගත් වන්නේ පාකිස්තානය පිතිකරුවන් වෙත පීඩනයක් යොමු කොට කඩුලු දවා ගන්න අවස්ථාවක් නිර්මාණය කරගන්න” යි පුහුණුවීම් අතරතුර පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් අදහස් දක්වා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධුරය භාර ගැනීමෙන් පසු ශ්‍රී ලංකා පිල සමඟ ආතර්ට කටයුතු කිරීමට ලැබී ඇත්තේ තවමත් එක් ටෙස්ට් තරගයක් පමණි. එබැවින් කණ්ඩායමේ ක්‍රීඩකයින් පිළිබඳව තවමත් ආතර්ට ඇත්තේ ප්‍රාථමික මට්ටමේ අදහසකි. එබැවින් කණ්ඩායම සකස් විය යුත්තේ කුමන අයුරකින්ද යන්න පිළිබඳව තමන් ක්‍රීඩකයින් සමඟ තනි තනිවම කටයුතු කරන බවද මෙම මාධ්‍ය හමුවේදී ප්‍රධාන පුහුණුකරු අවධාරණය කර සිටියේය.

“ක්‍රීඩකයින් අඳුර ගන්න අවධියකයි තවමත් මම ඉන්නේ. ඔවුන් ක්‍රීඩා කරන විලාශය ගැන තනි තනි ක්‍රීඩකයා ගැන අවබෝධයක් ලබා ගන්න මම ඔවුන්ව ගැන දැඩි විමසිල්ලකින් ඉන්නේ. මොකද ඔවුන් තවමත් මට අළුත් නිසා. නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තුළ දක්ෂතා ඕනෑ තරම් තියෙනවා. ඒ අතර කුසල් (මෙන්ඩිස්) සහ ළහිරු (කුමාර) ඉදිරියෙන්ම ඉන්නවා”

“ළහිරු කුමාර පැයට කිලෝ මීටර 150 ක වේගයෙන් පන්දු යවනවා. හොඳන් දුවනවා, ඔහු ඉතාමත් ශක්තිම සහ මලල ක්‍රීඩකයෙක්” පවසන ආතර් “ඒ වගේම මම කුසල් මෙන්ඩිස් ගැන අවධානය යොමු කරලා සිටිනවා වගේම ඔහු හොඳ ක්‍රීඩකයෙක් කියන දේ මම දැකලා තියෙනවා. දක්ෂතා එක දිගට රඳවා ගැනීමට ඔවුන් සමත් වුවහොත් ඔවුන් ලොව හොඳම ක්‍රීඩකයින් බවට පත්වේවි”යි යැයි හඳුනාගෙන ඇති ක්‍රීඩකයින් පිළිබඳව අදහස් දැක්වීය.

දෙවැනි ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් හෙට (18 දා) පෙ.ව. 10 සිට සිය පුහුණුවීම්වල නිරත වීමට නියමිතය. දෙරට අතර ටෙස්ට් තරගය මෙම මස 19 වැනිදා කරච්චි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar