slc
Home   |    News
දෙසැම්බර් 5, 2019
පුහුණු කාර්යාංශයේ සියළු හිඩැස් පිරෙයි – ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නව ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්

Sri Lanka Cricket

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය ඇතුළු සෙසු ප්‍රධාන පුහුණුකරු තනතුරු සදහා නව පුහුණුකරුවන් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා පත්ව සිටින දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් මහතා දෙසැම්බර් මස 04 වැනිදා සිට අදාළ පුහුණුකරු ධුරයේ කටයුතු කරනු ඇත.

මීට අමතරව ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ග්‍රාන්ට් ෆ්ලවර්ද, පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ඩේවිඩ් සේකර්ද සහ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු ජාතික ෂේන් මැක්ඩොමට් මහත්වරුන් කටයුතු කිරීමට නියමිත අතර ඔවුන් තිදෙනාගේම පළමු ජාත්‍යන්තර තරගාවලිය වන්නේ ලබන 11 වැනිදා පාකිස්තානයේදී ආරම්භ වන ටෙස්ට් තරගාවලිය වේ. පිතිකරණ පුහුණුකරු තනතුරට පත්ව සිටින ග්‍රාන්ට් ෆ්ලවර් එම තනතුරට අමතරව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයේද කටයුතු කිරීමට නියමිතව තිබේ.

මෙම තනතුරු වලට අමතරව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ස්ථාපනය කර ඇති ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානී තනතුර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන ලද ජෙරම් ජයරත්න මහතා පත් කර තිබෙන අතර ඔහුට සමගාමීව ඔස්ට්‍රේලියානු ජාතික පුහුණුකරුවකු වන ටිම් මැකැස්කිල් මහතාවද පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. මෙම ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අසංක ගුරුසිංහ මහතා කටයුතු කළ නමුත් මීට මාස කීපයකට පෙර ඔහු හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර තිබූ සේවා ගිවිසුම අවසන් විය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව පැවැති බංග්ලාදේශය තරගාවලියෙන් පසු හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා එම තනතුරින් ඉවත් කෙරුණු අතර එතැන් පටන් මේ වන තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්තර් වාර පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා කටයුතු කළේය.

මිකී ආතර්

2005 වසරේ සිට 2010 වසර දක්වා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කොට ඇති මිකී ආතර් මහහතා 2011 වසරේ සිට 2013 වසර දක්වා ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළ අතර අනතුරුව පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් වසර 3 ක කාලයක් කටයුතු කිරීම සඳහා ගිවිසුමකට එළැඹියේය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් පළමු පෙළ 110 කට සහභාගිවී ආතර් මහතා ඉකුත් අගෝස්තු මසදී පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරින් ඉවත් වූවේය.

51 හැවිරිදි වියේ පසුවන මිකී ආතර් මහතාගේ පුහුණුකාරීත්වය යටතේ 2017 වසරේදී එංගලන්තයේ පැවැති අයි. සී. සී. ශූරයින්ගේ කුසලාන දිනා ගැනීමට පාකිස්තානු කණ්ඩායම සමත්විය. එපමණක් නොව විස්සයි-20 ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පැමිණීමටද පාකිස්තානු කණ්ඩායමට හැකියාව ලැබිණ. දකුණු අප්‍රිකාව සමඟ කටයුතු කරන සමයේදී ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම බවට පත් කිරීමට මිකී ආතර්ට හැකියාව ලැබුණේ එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව ඔවුන්ගේ රටවලදීම පරාජයට පත් කරමිනි.

ග්‍රාන්ට් ෆ්ලවර්

සිම්බාබ්වේ පිලේ නායකයා ලෙසින් කටයුතු කරන ලද පසු කළෙක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් නම් දරා ඇති ඇන්ඩි ෆ්ලවර් මහතාගේ නිවුන් සහෝදරයා වන ග්‍රාන්ට් ෆ්ලර් මහතා හෙට (06 දා) දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

සිම්බාබ්වේ පිල වෙනුවෙන් ටෙස්ට් තරග 67 කට සහ එක්දින තරග 221 කට ක්‍රීඩා කර ඇති ග්‍රාන්ට් ෆ්ලර් මහතා 2010 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමෙන් පසු සිම්බාබ්වේ කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවා ලෙස 2010 වසරේ සිට 2014 වසර දක්වා කටයුතු කර තිබේ. අනතුරුව 2014 වසරේ පාකිස්තානු කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවා ලෙසින් කටයුතු කරන ලද ෆ්ලවර් මහතාද ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වන තෙක්ම පාකිස්තානු කණ්ඩායමේ පුහුණුකරුවකු ලෙස කටයුතු කළේය.

ඩේවිඩ් සේකර්

ඔස්ට්‍රේලියාවේ ඉපිද ඇති ඩේවිඩ් සේකර් මහතා පසු කළෙක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවා ලෙසින් කටයුතු කළ අයෙකි. 2010 වසරේදී එම වේග පන්දු තනතුරට පත් වන සේකර් 2015 වන තෙක්ම එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන පුහුණුකරුවා ලෙස කටයුතු කර තිබේ. 2010-11 වසරේ පැවැති අළු බඳුන ක්‍රිකට් තරගාවලියේදී එංගලන්ත පිල කැපී පෙනන ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත්වූ බැවින් ඔහුගේ කොන්ත්‍රාත් කාලය තවත් වසර 3 කින් දීර්ඝ කිරීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

2015 වසරේදී එම තනතුරට සමුදෙන සේකර් මහතා අනතුරුව ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක බිග් බෑෂ් ක්‍රිකට් තරගාවලිය යටතේ මෙල්බර්න් රෙනගේඩ්ස් පිලේද අනතුරුව වික්ටෝරියා බුෂ්රේන්ජර්ස් පිලේද ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළේය. 2016 වසරේදී ඔස්ට්‍රේලියානු ජාතික පිලේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කරන ලද සේකර් මහතා 2017 වසරේ පැවැති ඉන්දීය තරග සංචාරයේදී ඔස්ට්‍රේලියානු පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළේය. 2017 වසරේ පැවැති අළු බඳුන තරගාවලිය දිනා දීම එම එම කාලසීමාවේදී ඔහුගේ කැපී පෙනෙන දක්ෂතාවය විය. 2019 වසර ආරම්භයේදී එම තනතුරට සමුදී කෙටි කාලීන කොන්ත්‍රාත් පදනම මත ඇමරිකා එක්සත් ජනපදයේ වේග පන්දු පුහුණුකරු තනතුරෙහි කටයුතු කළේය.

ෂේන් මැක්ඩොමට්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන ෂේන් මැක්ඩොමට් මහතා මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ කටයුතු කිරීම ආරම්භ කර තිබේ. ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රාන්ත කණ්ඩායමක් වන දකුණු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙසින් කටයුතු කළ ඇති මැක්ඩොමට් මහතා, පන්දු රැකීමට අමතරව පන්දුවට පහර දීම සම්බන්ධව විශේෂඥ පුහුණුකරුවකු ලෙසින්ද කටයුතු කර තිබේ. මිකී ආතර් මෙන්ම ජාතික කණ්ඩායමක් නියෝජනය කිරීමට වරම් ලබා නොමැති 38 හැවිරිදි මැක්ඩොමට් වමතින් පන්දුවට පහර දෙන කඩුලු රකින්නෙකු ලෙස කටයුතු කර තිබේ.

ජෙරම් ජයරත්න

හිටපු වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ජෙරම් ජයරත්න මහතා ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කිරීමට ප්‍රථම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අන්තර් ප්‍රධාන පුහුණුකරු ලෙසින්ද කටයුතු කළ ඇති ඒ මහතා වසර දශක 2 කට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ විවිධ තනතුරු හොබවා තිබේ.

අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදි තරගාවලි කීපයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශකවරයා ලෙසින්ද කටයුතු කළ ජයරත්න මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ ප්‍රධානියා ලෙසින්ද කටයුතු කර තිබේ. හිටපු ප්‍රධාන පුහුණුකරු මාවන් අතපත්තු 2015 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරින් ඉවත්වීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අන්තර් පුහුණුකරු ලෙසින් කටයුතු කරන ලද්දේ ජෙරම් ජයරත්න මහතාය.

ටිම් මැකැස්කිල්

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ස්ථාපනය කර ඇති ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානී තනතුරෙහි හෙට සිට කටයුතු කිරීමට නියමිත ඔස්ට්‍රේලියානු ජාතික පුහුණුකරුවකු වන ටිම් මැකැස්කිල් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම් ගත වන තෙක්ම ක්‍රිකට් වික්ටෝරියා හි ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයේ කළමනාකරු ලෙස කටයුතු කටයුතු කළේය. 2007 වසරේ සිට 2019 වසර දක්වාම එම තනතුරෙහි වැඩ කළ මැකැස්කිල් මහතා 2012 වසරේ සිට 2016 දක්වා අතරතුර කාලයේ එරට ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන ප්‍රධාන ප්‍රාන්තයක් වන මෙල්බර්න් රෙනගේඩ්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින්ද කටයුතු කර තිබේ.

මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest