slc
Home   |    News
ජනවාරි 19, 2020
අරමුණු රැසක් ඉටු කර ගැනීමේ අදහසින් ශ්‍රී ලංකාව පළමු ටෙස්ට් තරගයට

Sri Lanka Cricket

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මෙතෙක් ඔවුන්ගේ නිජ බිමේදී එකම ටෙස්ට් තරගයක් හෝ පරාජයට පත්ව නැති ශ්‍රී ලංකා කණ්ඩායම එම අපරාජිත භාවය තවදුරටත් ආරක්ෂා කර ගැනීමේ අරමුණ ප්‍රධාන කොට හෙට (19 දා) හරාරේ ක්‍රීඩාංගණයේදී සත්කාරක සිම්බාබ්වේ පිල මුණ ගැසෙනු ඇත.  

හෙටින් ඇරඹෙන මෙම ටෙස්ට් තරගය කාරණා කීපයක් හේතුවෙන් දෙපිළටම ඉතාමත් තීරණාත්මක වේ. සත්කාරකයින්ගේ පැතිකඩෙන් බැලීමේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පණවා තිබූ මාස 3 ක තරග තහනමින් පසු සහභාගිවන පළමු ටෙස්ට් තරගය වන්නේ මෙම ටෙස්ට් තරගය බවට පත්වීමය. 

සිම්බාබ්වේ කණ්ඩායමේ තත්ත්වය එවන් තලයක පවතිද්දී සංචාරකයින්ගේ දෙසින් ඇත්තේ වෙනත්ම පැතිකඩකි. එහි කාරණා කීපයකි. ඒ කාරණා අතරින් ප්‍රධානම වන්නේ දිගින් දිගටම දක්ෂතා අතරට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පිතිකරණ රිද්මය යළි යථා තත්ත්වයට පත් කර ගැනීමය. මෙම තරගාවලියෙන් පසු ශ්‍රී ලංකාවට සහභාගිවීමට නියමිතව තිබෙන එංගලන්තය සමඟ ටෙස්ට් තරගාවලිය සඳහා කණ්ඩායම යළි ශක්තිමත් කර ගැනීම අනෙත් කරුණ වේ. 

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට සහභාගිවනු ලබන්නේ ටෙස්ට් ලෝක ශූරතාවය යටතේ පාකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පරාජයට පත්වීමේ පරාජිත මානසිකත්වය සමඟිනි. කෙසේ වෙතත් ගෙවී ගිය 2019 වසරේදී ලොව ප්‍රධානම ටෙස්ට් රටක් ලෙසින් වැජඹුණු දකුණු අප්‍රිකාව, දකුණු අප්‍රිකාවේදීම පරාජයට පත් කිරීම මෙන්ම නවසීලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් කර ගත් කණ්ඩායමේ කුසල් ජනිත් හැරුණු විට බහුතරයක් ක්‍රීඩකයින් කණ්ඩායම තුළ සිටීම ශ්‍රී ලංකාව පැත්තෙන් වාසිදායක වී තිබෙන කරුණකි.

දෙරට අවසන් වරට මුණ ගැසුණේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී 2017 වසරේ පැවැති ටෙස්ට් තරගයයේදීය. සිකන්දර් රාසා සහ ක්‍රෙග් එර්වින් එක්ව ගොඩ නංවන ලද ශතක සම්බන්ධතාවය හේතුවෙන් සහ ග්‍රැහැම් ක්‍රිමට් ඉනිම දෙකේදීම කඩුලු 9 ක් දවා ගැනීමට සමත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 388 ක අසීරු ඉලක්කයක් ලබා දෙමින් තරගයේ වැඩි වාසි තමන් වෙත නතු කර ගැනීමට සිම්බාබ්වේ පිල සමත්විය. එහෙත් අසේල ගුණරත්න සහ නිරෝෂන් දික්වැල්ලගේ පිතිහරඹය සිම්බාබ්වේ ජයග්‍රහණයට හරස් කැපූහ. 

වසර දෙකහමාරකට පෙර පැවැති තරගයකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවත් ඊට පෙර පැවැති එක්දින තරගාවලිය 3-2 ක් ලෙස ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය. එම තරගාවලියෙන් පසු කණ්ඩායම් දෙකේම විශාල වෙනස්කම් සිදුවී තිබේ. සිම්බාබ්වේ කඳවුරෙන් ගත් විට එම තරගාවලිය මෙහෙයන ලද ග්‍රැහැම් ක්‍රිමර් හෙට ඇරඹෙන තරගය සඳහා නොමැත. ඔහු සිය පවුල ද කැටුව ඩුබායි දේශයට පදිංචිව ගොස් ඇති බැවින් ක්‍රිමර්ගේ සේවය සිම්බාබ්වේ කණ්ඩායමට අහිමිව තිබේ. එම තරගාවලියේ ක්‍රීඩා කළ අනෙක් ප්‍රධාන ක්‍රීඩකයකු වන හැමිල්ටන් මසකඩ්සා විශ්‍රාම ගනිමින් සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙස පත්ව සිටියි. ආර්. ප්‍රේමදාස තණතීරුවේ හොඳින් දක්ෂතා දැක්වූ පී. ජේ. මුවර්ද කණ්ඩායමේ නැත. 

මෙම තත්ත්වය මත නම් කරන ලද සිම්බාබ්වේ කණ්ඩායමට ටෙස්ට් තරග අංශයට අලුතින්ම ක්‍රීඩකයින් 5 දෙනෙකු එක් කිරීමට එරට තේරීම් කමිටුවට සිදුව තිබේ. එම තරගාවලියේදී ශ්‍රී ලංකාව මෙහෙය වූ ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමේ සිටියද නායකයත්වය දරන්නේ දිමුත් කරුණාරත්නය. අත්දැකීම් අතින් නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ කියන්නට කිසිම අඩුවක් නොමැති වුවත් නිරන්තරයෙන්ම පිතිකරුවන්ට ලකුණු අතර රැදී සිටීමට නොහැකි වීම මුහුණ දී සිටින අවාසනාවන්තම කරුණ වේ. 

පන්දු යවන්නන් අතින් බැලීමේදී තත්ත්වය එසේමය. කණ්ඩායම සතු ප්‍රධානම දඟ පන්දු යවන්නා වන ඩිල්රුවන් පෙරේරාට කඩුලු දවා ගැනීමට නොහැකි වීම මත ඇත්තේ දැවැන්ත ප්‍රශ්නාර්ථයකි. පාකිස්තානු තරගාවලියේදී දිල්රුවන් එකම කඩුල්ලක් හෝ දවා ගැනීමට අපොහොසත් විය.

සිම්බාබ්වේ පිලට ටෙස්ට් වරම් හිමිවූ 1994 වසරේ සිට මේ දක්වා දෙරට අවස්ථා 18 කදී ටෙස්ට් තරග වල මුණ ගැසී තිබේ. ඉන් 13 ක්ම ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වද්දී සෙසු තරග 5 ජය පැරදුමෙන් තොරව අවසන් වී තිබේ. කෙසේ වෙතත් පූර්විකාවේ සඳහන් කළාක් මෙන් ශ්‍රී ලංකා පිල සිම්බාබ්වේදී ටෙස්ට් තරග 10 කට සහභාගිවී ඇති නමුත් ඉන් අවස්ථා 5 කදීම ජය ගෙන අනෙක් තරග 5 ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට සමත්ව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම – 1. දිමුත් කරුණාරත්න (නායක), 2. ඕෂධ ප්‍රනාන්දු, 3. කුසල් මෙන්ඩිස්, 4. ඇන්ජලෝ මැතිව්ස්, 5. දිනේෂ් චන්දිමාල්, 6. ධනංජය ද සිල්වා, 7. නිරෝෂන් දික්වැල්ල, 8. ඩිල්රුවන් පෙරේරා, 9. සුරංග ලක්මාල්, 10. ලසිත් ඇඹුල්දෙණිය, 11. ළහිරු කුමාර. (ලක්ෂාන් සඳකැන්, කසුන් රජිත, ළහිරු තිරිමාන්න)

සිම්බාබ්වේ කණ්ඩායම – 1. කෙවින් කසුසා, 2. ප්‍රින්ස් බස්වව්රේ, 3. බ්‍රෙන්ඩන් ටේලර්, 4. ක්‍රෙග් එර්වින්, 5. ෂෝන් විලියම්ස්(නායක), 6. සිකන්දර් රාසා, 7. රෙගිස් චකබ්වා, 8. ඩොනල්ඩ් ටිරිපානෝ, 9. වික්ටර් යයුචි , 11 කයිල් ජාර්විස්, 11. අයින්ස් ඩොලුවා. 

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest