slc
logo
Home   |    News
ජනවාරි 26, 2020
ලද ජයග්‍රහණය රැක ගැනීමේ අදිටනින් සිංහයෝ යළිත් හරාරේට

sinhala editor

By Chamila Karawita

ටෙස්ට් වරම් හිමිවීමෙන් පසු මුණ ගැසුණු සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාව හමුවේ ටෙස්ට් තරගාවලි පරාජයට පත්ව සිටින සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගයට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (27 දා) පළමු තරගය පැවැති හරාරේ ක්‍රීඩාංගණයටම අවතීර්ණ වනු ඇත.

දෙරට අතර පැවැති පළමු තරගය කඩුලු 10 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටින හෙයින් හෙට තරගයට අවතීර්ණ වන්නේ 1-0 ක් ලෙස ශ්‍රී ලංකාව තරගාවලියේ පෙරමුණ ගනිමිනි. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට පැවැති බොහෝ ටෙස්ට් තරගාවලිවල පළමු තරගය ජය ගැනීමට සමත් වුවත්, ලබා ගත් ජයග්‍රහණය දෙවැනි තරගයේදී රැක ගැනීමට අපොහොසත් වීම මුහුණ දී තිබෙන දැවැන්තම ගැටළුව බවට පත්ව තිබේ. අවසන් වරට ශ්‍රී ලංකා පිල ශ්‍රී ලංකාවේදීම නවසීලන්තයට එරෙහිව පැවැති තරගාවලියේදීද මෙවැනිම ගැටළුවකට මුහුණ දුන්නේය. ඒ අනුව හෙට තරගය කෙසේ හෝ සිම්බාබ්වේ පිලට වාසි දායක නොවන අයුරින් තබා ගැනීමට ශ්‍රී ලංකා පිල හැකි සෑම උත්සාහයක්ම ගත යුතුය.

ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් නොවන තරගාවලියක් බැවින් හෙට තරගයේ ජය ශ්‍රී ලංකාව ලබා ගත්තද ජාත්‍යන්තර ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමෙහි ශ්‍රී ලංකාව ලබා සිටින ලකුණු 92 කිසිදු වෙනසක් නොවනු ඇත. එහෙත් ශ්‍රී ලංකා පිල මෙම තරගයෙන් ජය ගැනීමට සමත් වුවහොත් සිම්බාබ්වේ කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 13 දක්වා අඩුවනු ඇත. තරගාවලි ආරම්භයයේදී ප්‍රසාද ලකුණු 26 ක් සිම්බාබ්වේ ඉදිරියෙන් සටහන් ව තිබුණද පළමු තරගය පරාජයට පත්වීමත් සමඟ එය මේ වන විට 17 දක්වා අඩු වී තිබේ.

ලෝක ටෙස්ට් ශූරතාවලියට එතරම් වැදගත් භාවයක් නොමැති වුවද ක්‍රීඩකයින්ගේ සුපුරු දක්ෂතා අතරට පැමිණීම සඳහා මෙම තරගාවලිය ශ්‍රී ලංකා පිලට බෙහෙවින්ම වැදගත් තරගාවලියකි. බලාපොරොත්තු වූ අයුරින්ම ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් පළමු තරගයේදී ලකුණු අතරට පැමිණීමට හැකිවීම සතුට උපදවන කරුණක් බවට පත්ව තිබේ. එහිදී කැපී පෙනුණු ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ප්‍රථම ද්විත්ව ශතකය රැස් කර ගනිද්දී කුසල් මෙන්ඩිස් ලකුණු 80 ක් ලබා ගනිමින් සුපුරුදු පිතිකරණ රටාවට අවතීර්ණ වී සිටියි.

හෙට තරගයේදී ලකුණු 92 ක් ලබා ගැනීමට ඇන්ජලෝ මැතිව්ස්ට හැකියාව ලැබුණහොත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 6000 ඉක්මවන ලද පස්වැනි පිතිකරුවා බවට පත්වීමේ අවස්ථාව උදාවනු ඇත. ඔහුට ඉදිරියෙන් වැඩිම ලකුණු ලබා ඇති පිතිකරුවන් අතර පිළිවෙළින් කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, අරවින් ද සිල්වා සහ සනත් ජයසූරිය පසුවෙති.

මෙම තත්ත්වය ප්‍රධාන කොට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් පිතිකරුවන් වර්ගීකරණයේ පළමු 20 දෙනා අතරට පැමිණීමට ඇන්ජලෝ මැතිව්ස්ට හැකියාව ලැබීමද කැපී පෙනෙයි. මැතිව්ස් මේ වන විට එම පිළිවෙළේ 16 වැනි ස්ථානයට පැමිණ සිටිද්දී කුසල් මෙන්ඩිස් 26 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

කණගාටුවට ඇතිනම් ඒ එකම කරුණ වන්නේ පළමු පිතිකරුවන් 10 දෙනා අතර සිටි නායක දිමුත් කරුණාරත්න එම ශ්‍රේණියේ 11 වැනි ස්ථානය දක්වා පල්ලම් බැස තිබීමයි. හෙතෙම හෙට තරගයේදී ලකුණු අතරට පැමිණියහොත් මෙම සටහනේ ඉදිරියට ඒමට මෙන්ම එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා වඩාත් සුභදායක වනු ඇත.

පන්දු යවන්නන් ගෙන බැලුවද පිළිගත හැකි වර්ධනයක් ශ්‍රී ලංකා පන්දු යවන්නන් පෙන්නුම් කර තිබේ. එහිදී ඉදිරියෙන්ම සුරංග ලක්මාල් පසුවන අතර ඔහු 22 වැනි ස්ථානයේ රැඳී සිටියි. ඒ හැරුණු විට ළහිරු කුමාර 30 වැන්නේ සහ ඩිල්රුවන් පෙරේරා 31 වැන්නේ රැදී සිටිති.

පළමු තරගයට ලබා දුන් තණතීරුව වෙනුවට අළුතින් නිර්මාණය කරන ලද තණතීරුවක් හෙට තරගය සඳහා නිර්මාණය කර තිබෙන අතර එයද බොහෝ විට පළමු තරගය පැවැති තණතීරුව මෙන් මන්දගාමී තණතීරුවක් වනු ඇති බවට අපේක්ෂිතය. එම ක්‍රීඩාංගණයේ සිබ්බාව්වේ පිල මෙතෙක් ටෙස්ට් තරග 35 කට ක්‍රීඩා කර තිබෙන අතර ඉන් 19 වතාවකම පරාජයට පත්ව තිබේ. ශ්‍රී ලංකාවට එරෙහිව මෙම ක්‍රීඩාංගණයේදී තරග 8 කට සහභාගිවී ඇති සිම්බාබ්වේ පිල ඉන් 5 ක් පරාජයට පත්වද්දී තරග 3 ක් විසඳුමකින් තොරව අවසන් කරගෙන තිබේ. ක්‍රීඩාංගණයේදී ලබා ඇති ජයග්‍රහණයන් පිළිබඳ අවධානය යොමු කිරීමේදී බංග්ලාදේශයට එරෙහිව සිව් වතාවක්, ඉන්දියාවට එරෙහිව දෙවතාවක් සහ පාකිස්තානයට එරෙහිව දෙවතාවක් තරග ජයග්‍රහණය කිරීමට සිම්බාබ්වේ පිල සමත්ව සිටියි.

අද තරගයේදී බොහෝ විට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එක් වෙනස්කමක් සිදුවනු ඇති බවට අපේක්ෂා කළ හැක. එහිදී බොහෝ දිට කසුන් රජිතගේ ස්ථානය සඳහා ඩිලුරුවන් පෙරේරා ආදේශ කිරීමෙනි. සිම්බාබ්වේ පිලේද බොහෝ විට වෙනස් කම් 2 ක් පමණ  අපේක්ෂා කළ හැක. එහිදී  පළමු තරගයේදී හිසෙහි පන්දුවක් වැදුණු කෙවින් කසූසා වෙනුවට බ්‍රයන් මුඩින්ගන්යාම ක්‍රීඩා කිරීම අනිවාර්ය වන අතර පළමු තරගයේදී පන්දුවාර 28 ක් යැව්වද එකම කඩුල්ලක් හෝ දවා ගැනීමට අසමත් වුණු අයින්ස් එන්ලෝව් වෙනුවට පා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ටිමිසන් මරුමා කැඳවීමට වැඩි ඉඩ කඩක් තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම – දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ලසිත් ඇඹුල්දෙණිය,ඩිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, ළහිරු කුමාර.

සිම්බාබ්වේ කණ්ඩායම – ෂෝන් විලියම්ස් (නායක), බ්‍රයන් මුඩින්ගන්යාමා, ප්‍රින්ස් මසාවුරේ, බ්‍රෙන්ඩන් ටේලර්, ක්‍රෙග් අර්වින්, සිකන්දර් රාසා, රෙගිස් චකබ්වා, ටිමිසන් මරුමා, ඩොනල්ඩ් ටිරිපානෝ, වික්ටර් නියාව්චි, කයිල් ජාර්විස්.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee