slc
Home   |    News
පෙබරවාරි 21, 2020
පළමු එක්දින තරගයේ සූදානම ගැන මිකී ආතර්ගේ පණිවිඩය

sinhala editor

By Chamila Karawita

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම යනු කවදත් දඟ පන්දු යවන්නන් හමුවේ දැඩි දුර්වලතාවයක් පෙන්නුම් කරන කණ්ඩායමකි. එබැවින් හෙට ආරම්භ වන දෙරට අතර තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන දඟ පන්දු යවන්නන් දෙදෙනෙකු සමඟින් අවතීර්ණ වීමට අවධානය යොමු කොට තිබේ. එහෙත් පැන නැගී ඇති ගැටළුව වන්නේ තණතීරුවෙන් ලබා දෙන වාසිය පිළිබඳව තවමත් හරි හැටි විග්‍රහයක් ලබා ගැනීමට නොහැකිවීමයි. එබැවින් හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වේග පන්දු යවන්නන් තිදෙනකු සමඟින් අවතීර්ණ වන්නේද නැතහොත් මැණිකටුව උපයෝගී කරගනිමින් දඟ පන්දු යවන වනිඳු හසරංග සමඟ ලක්ෂාන් සඳකැන්ව යොදා ගන්නවාද යන්න අද සවස් යාමය වන තුරුත් පැවැතියේ චකිතයකි.

මේ පිළිබඳ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසන්නේ කුමන සංයුතිය යටතේ ක්‍රීඩා කළත් ජාමේ බේරා ගැනීම වෙනුවෙන් තවදුරටත් ක්‍රීඩා කිරීමේ අදහසක් නොමැති බවයි. සංචාරකයින්ට එරෙහිව ආක්‍රමණශීලී ලෙස පන්දු යවමින් කඩුලු දවා තරගය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා සැලසුම් අතර ප්‍රධාන වී තිබෙන බව ආතර් පවසයි.

“අපිට මැදදි කඩුලු දවා ගැනීමට හොඳම විකල්පය වන්නේ මැණික් කටුව උපයෝගී කරගෙන පන්දු යවන්නන් යොදාගැනීමයි. සුදු පන්දුවෙන් සිදුකරන තරග ජයග්‍රහණය කිරීමට ඒක තමයි හොඳම අවිය. අපි නිතරම බලන්නේ අපිට ආවේණික වූ ක්‍රිකට් රටාවකට ක්‍රීඩා කරන්න. ඒ නිසා අපි නිතරම ඔවුන්ව අපේ පාලනයේ තියාගෙන කඩුලු දවා ගන්න ඕන. එතැනින් තමයි අපේ ක්‍රිකට් අනාගතය රඳා පවතින්නේ. අපේ සූදානම ගැන දැනට තියෙන පණිවිඩය එයයි කියලයි මම හිතන්නේ”

“ඒ නිසා අපි තවදුරටත් ආරක්ෂා වෙන්න ක්‍රිකට් ක්‍රීඩා කරන්න බලාපොරොත්තුවක් නෑ. ඒ පිළිබඳව අපේ තේරීම් වලින්ම පිළිබිඹු වෙනවා. ඒ අනුව අපේ මැණික් කටුව උපයෝගී කරගනිමින් පන්දු යවන්නන් දෙදෙනා ඔවුන්ගේ කාර්යය හොඳින් කිරීමට සමත් වුණොත් එය අපිව උද්දාමයට පත් කරාවි” යැයි ආතර් පවසයි.

සිය සැලසුම් පිළිබඳව ආතර් එසේ පවසා සිටියද පිතිකරණ අනුපිළිවෙළේ 07 වැනි ස්ථානයේ ක්‍රීඩා කරන්නේ කවුරුන්ද යන්න ඇත්තේ තවමත් ගැටළුවකි. එහෙත් වේග පන්දු යවන්නන් දෙදෙනෙකු සමඟින් ක්‍රීඩා කරන්නේ නම් පන්දු යවන්නකු ලෙස තිසර පෙරේරාට වැඩි වගකීමක් හිමිවනු ඇත. මේ පිළිබඳව අදහස් දක්වා සිටි ආතර්, “වේග පන්දු යවන්නන් දෙන්නෙක් සමඟ තරගයට අවතීර්ණ වුණොත් තිසරට වේග පන්දු යැවීමේ වගකීම භාර ගන්න වෙනවා. ඒත් අපේ දඟ පන්දු යවන්නන් මේ වන විට හොඳින් පන්දු යවන තත්ත්වයක ඉන්න නිසා ඒ ගැන කියන්න තවම වෙලා වැඩියි. වනිඳු (හසරංග) ඉතා විශිෂ්ඨ අයුරින් පන්දු යවනවා. ඔහු පන්දු යවන විදිහ, පන්දුවේ පාලනය, පතිත කිරීම ඉතාම ඉහළ මට්ටමේ පවතිනවා. ඔහු පන්දුව සමඟ ගනුදෙනු කරන විදිය මවිතයට පත් කරන සුළුයි. ඒ වගේමයි ඔහු පිත්තත් පන්දු රැකීමත්. ඔහුට ඔහු පිළිබඳව හොඳ තක්සේරුවක් තබාගෙන තියෙනවා. සඳකැනුත් එහෙමයි. ඔහු මේ ආකෘතියේ සෑහෙන කාලයක් තිස්සේ රැදී සිටිනවා”යි තම දඟ පන්දු යැවීමේ ශක්තිය පිළිබඳව අදහස් දැක්වූවේය.

පිතිකරණය පිළිබඳවද වැඩි විශ්වාසයකින් අදහස් දක්වා සිටි ප්‍රධාන පුහුණුකරු, “අපිට වේගයෙන් පන්දුවට පහර දිය හැකි කුසල් ජනිත් මෙන්ම අවිශ්ක ප්‍රනාන්දු ඉදිරි පෙළින් සිටිනවා. අවිශ්ක දිමුත් සමඟ ඉනිම ආරම්භ කරනවා. කුසල් පෙරේරා අංක 3 ස්ථානයෙන් පන්දුවට පහර දෙනවා. ඒ වගේම 4, 6, 7 ස්ථානවල කුසල් මෙන්ඩිස්, මැතිව්ස් සහ ධනංජය. ඔවුන් තිදෙනාටම තරගයක මැද භාගය හොඳන් පාලනය කළ හැකි පිතිකරුවනා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි පෙළි අය ලබාදෙන සාර්ථක්තවය අනුව ඔවුන් තරගයට හොඳින් අනුගත වෙයි කියලා. ඒ වගේමයි තිසර සහ වනිඳු ඔවුන් අවසානය හොඳින් කරාවි. ඒ තිරපිටපත හරි ගියොත් හොඳ තරගයක් බලාගන්න පුලුවන් වේවිඞ” යැයි පැවැසීය.

මේ අතර මෙවැනි ආකාරයේ තරගයන්වලට ක්‍රීඩා කිරීමේදී කායික ශක්තිය මෙන්ම පන්දු රැකීමද විශිෂ්ඨ තලයක පැවැතිය යුතු බව පවසන මිකී ආතර්, ඒ පිළිබඳව වඩාත් අවධානය යොමු කර තිබෙන බව සඳහන් කර සිටියේය. “පන්දු රැකීම වෙනුවෙන් ඊයේ තිබුණු මුලු පුහුණු සැසියම මම බලාගෙන හිටියා. අපේ පන්දු රැකීම ඉතා විශාල දියුණුවක් ලබාලා තියෙනවා. එය ක්‍රීඩකයින් ආකල්ප හොඳ පැත්තට හැරෙන හොඳ සාක්ෂියක්. ඔවුන් අපිව යන්න බලාපොරොත්තුවෙන තැනට රැගෙන යාවි” යැයි පවසන ආතර්, “ඉන්දියාවට එරෙහිව විස්සයි-20 තරගාවලියේ තිබුණු පන්දු රැකීමට වඩා මේ වන විට කණ්ඩායම ඉතා විශාල සංවර්ධනයක් ලබලා තියෙනවා”යි පවසයි.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest