slc
Home   |    News
දෙසැම්බර් 9, 2020
අසේලගේ දක්ෂතා නිසා ‘ටස්කර්ස්’ බලාපොරොත්තු ඉහළ යයි

Sri Lanka Cricket

Chamila Karawita reporting from Hambantota

අසේල ගුණරත්නගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙසින් ජැෆ්නා ස්ටැලියන්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට අද (09 දා) හැකියාව ලැබිණ. මෙය තරග 7 කදී කැන්ඩි ටස්කර්ස් පිල ලද දෙවැනි ජයග්‍රහණය ලෙසින් සනිටුහන් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 151 ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි ටස්කර්ස් පිතිකරුවෝ කඩුලු 4 ක් පමණක් ලබා දී අදාළ ඉලක්කය සපුරා ගන්නා ලද්දේ තවත් පන්දු 5 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබියදීය. තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලද අසේල ගුණරත්නගේ පිත්තෙන් එල්ල වුණු ජයග්‍රාහී හයේ පහරත් සමඟ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ ජයග්‍රහණයත් අසේලගේ අර්ධ ශතකයත් සම්පූර්ණ විය.

අවසන් කණ්ඩායම් 4 ට පිවිසීම සඳහා සුභවාදී බලාපොරොත්තු රඳවා ගැනීමට ජයග්‍රහණය ඉතා වැදගත් වුණු මෙම තරගයේදී පස්වැනි කඩුල්ල වෙනුවෙන් ඉර්ෆාන් පතන් සමඟ එක්ව පන්දු 35 කදී නොබිඳුණු ලකුණු 56 ක සම්බන්ධතාවයක් පැවැත්වූ අසේල තරගයේ ජය තහවුරු කරන විට පන්දු 37 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක්ද සමඟ ලකුණු 52 ක් ලබා සිටියේය. ඔහුට අනගි සහායක් ලබා දුන් ඉර්ෆාන් පතන් හතරේ පහර 4 ක් සමඟින් පන්දු 19 කදී ලකුණු 25 ක් රැස් කළේය.

ටස්කර්ස් ජයග්‍රහණයට පන්දු 12 කදී ලකුණු 17 ක් අවශ්‍යව තිබියදී අසේල එල්ල කරන ලද පහරක් තර්ඩ් මෑන් කළාපයේ පන්දු රකිමින් සිටි වනිඳු හසරංග ගෙන පන්දු යවන්නාගේ කඩුල්ලට එල්ල කළේය. එල්ල කරන ලද පන්දුව ලකුණක් කරා පැති මාරු කරගනිමින් සිටි අසේලගේ පිත්තේ වැදී හතරේ සීමාව දක්වා ඇදී ගිය නමුත් එය පන්දු රකින්නන්ට සිදුකළ බාධාවක් යැයි කියමින් ස්ටැලියන්ස් පිල ඉල්ලීමක් කර සිටියේය. තෙවැනි විනිසුරුගේ අවධානය දක්වා ඇදී ගිය එම සිදුවීමේදී දැවී යෑමක් නොවන  බවට සංඥා කිරීම නිසා ලකුණු 5 ක් පන්දුවට පහර දුන් කණ්ඩායමට හිමිවිය.

අවසන් වරට සහභාගිවුණු ක්‍රීඩකයින් 11 දෙනාගේකිසිදු වෙනසක් සිදු නොකරමින් අද තරගයට අවතීර්ණ වුණු ජැෆ්නා ස්ටැලියන්ස් පිල ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළද පවර් ප්ලේ අවස්ථාවේදී කඩුලු 3 ක් දවා ගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නන් සමත්වීම ඔවුනට දැඩි පාඩුවක් ගෙන දෙන්නක් විය. ඉනිමේ ආරම්භයත් මැද පෙළින් ශක්තිමත් සම්බන්ධතා පැවැත්වීමට පිතිකරුවන් අපොහොසත්වීම නිසා ජැෆ්නා ස්ටැලියන්ස් පිලට නියමිත පන්දුවාර 20 අවසනදී රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 150 ක් පමණි.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වුණු නුවන් ප්‍රදීප් ලකුණු 36 කට කඩුලු 3 ක්ද, ඩේල් ස්ටේන්, අසේල ගුණරත්න සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 බැගින් බිඳ හෙළමින් කැන්ඩි ටස්කර්ස් පිතිකරුවන් පීඩනයට ලක් කළහ. මෙතෙක් පැවැති තරග වලදී එකම කණ්ඩායමක වේග පන්දු යවන්නන් තිදෙනකු කඩුලු 2 බැගින් දවා ගන්නා ලද පළමු අවස්ථාව වශයෙන්ද අද තරගය සනිටුහන් විය.

ජැෆ්නා ස්ටැලියන්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ෂොයෙබ් මලික් පන්දු 44 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමඟ ලකුණු 59 ක් රැස් කළේය. අංක 5 පිතිකරු ලෙසින් පැමිණි මිනෝද් භානුක සමඟ සිව්වැනි කඩුල්ලට එක්වූ මලික් පන්දු 53 කදී ලකුණු 59 ක සම්බන්ධතාවයක් එක් කළහ.

පන්දු 78 කදී ලකුණු 100 කඩ ඉම පසු කළ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ සියල්ල කණ පිට හැරුණේ අසේල ගුණරත්න විසින් ක්‍රියාත්මක කරන ලද 14 වැනි පන්දුවාරයේ සිටය. එම පන්දුවාරයේදී  පන්දු 4 ක් ඇතුළත මිනෝද් භානුක (21) සහ නායක තිසර පෙරේරාගේ කඩුලු දවා ගැනීමට අසේල සමත්වද්දී ඩේල් ස්ටේන් විසින් යවන ලද ඊළඟ පන්දුවාරයේදී වනිඳු හසරංගගේ කඩුල්ල දවාගත්තේය. මේ කඩුලු 3 දැවී යන විට ලකුණු පුවරුවට එක්ව තිබුණේ ලකුණු 5 ක් පමණක් වීම ජැෆ්නා ස්ටැලියන්ස් පිලට දැරිය නොහැකි පාඩුවක් විය. 

කුසල් මෙන්ඩිස් උඩ පන්දුවක් රැක ගැනීම මත මිනෝද් භානුද ඩිල්රුවන් පෙරේරා උඩ පන්දුවක් රැක ගැනීම මත තිසර පෙරේරාද පිටියෙන් ඉවත්වූහ. පිට පිට තෙවැනි වරටත් යළිත් වරක් පිතිකරුවකු ලෙස අසාර්ථක වුණු නායක තිසර පෙරේරාට රැස් කරගත හැකි වූයේ ලකුණක් පමණි. නීරෝධායන කාල සීමාව අවසන් කරමින් පළමු වරට අද දිනයේදී ක්‍රීඩා කළ වේග පන්දු යවන ඩේල් ස්ටේන් තම දෙවැනි කඩුල්ල ලෙසින් වනිඳු හසරංගගේ (02) කඩුල්ල දවා ගත්තේය. ඊට ප්‍රථම ඔහු විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රථම පන්දුවාරයේ දෙවැනි පන්දුවේදීම අවිශ්ක ප්‍රනාන්දුගේ කඩුල්ල දවා ගනිමින් කැන්ඩි ටස්කර්ස් පිලට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest