slc
Home   |    News
දෙසැම්බර් 1, 2020
කැන්ඩි ටස්කර්ස් ජයග්‍රාහී මාවතට

sinhala editor

Chamila Karawita reporting from Hambantota

“My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය ලෙසින් රාත්‍රියේ නිමාවට පත් වුණු තරගයේදී ගෝල් ග්ලැඩියේටර් පිලට එරෙහිව ලකුණු 25 ක ජයක් වාර්තා කළ කැන්ඩි ටස්කර්ස් ක්‍රීඩකයෝ තරගාවලියට පළමු ජයග්‍රාහී පියවර අද (30 දා) තැබූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 197 ක් හෙවත් පන්දුවාරයකට 9.9 කට ආසන්න දළ ලකුණු වේගයක් රඳවා තබා ගැනීමේ අභියෝගය කරපින්නාගෙන පිටියට පිවිසි ගෝල් ගැලැඩියේටර් කණ්ඩායමට කැන්ඩි ටස්කර්ස් පන්දු යැවීමේ බලඇණිය හමුවේ රැස් කරගත හැකි වූයේ පන්දුවාර 20 දී කඩුලු 7ක් දැවී ලකුණු 171 ක් පමණි.

එම හඹා යෑමේදී ධනුෂ්ක ගුණතිලක හැරුණු විට නම් දැරූ පිතිකරුවන් කිසිවෙක් ලකුණු 20 සීමාව ඉක්මවාලීමට අපොසත්විය. එම තත්ත්වය මත සිය අන්තයේ හුදෙකලා වුණු ධනුෂ්ක හයේ පහරක් සහ හතරේ පහර 13 ක් සමඟ පන්දු 53 කදී ලකුණු 82 ක් ලබාගත්තේය. නායක අෆ්රිඩි මුහුණ දුන් පළමු පන්දුවේදීද භානුක රාජපක්ෂ දුවද්දී දැවී යෑමට හසුවීම, මෙවර තරගාවලියේ පිට පිටම ලද තෙවැනි පරාජයට ප්‍රධාන මූලාශ්‍ර වූවේය.

මෙතෙක් පැවති තරග 2 දී පිතිකරුවකු ලෙස සාර්ථක වුණු රාමනුල්ලේ ගුර්බාස් අද තරගයේදී වේලාසනින්ම දැවී ගියද සිය වගකීම කරට ගත් කුසල් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් කැන්ඩි ටස්කර්ස් පිල ලකුණු 200 කට ආසන්න ලකුණු සංඛ්‍යාවක් දක්වා රැගෙන යෑමේ මූලික කාර්යය භාරය ඉටු කළහ.

නායකයාට වඩා ප්‍රවේගකාරී වුණු මෙන්ඩිස්ගේ වේගවත් ඉනිම නිමාවට පත්වූයේ අර්ධ ශතකයට එක් ලකුණක් ලබා ගැනීමට තිබියදීය. මෙන්ඩිස්ගේ ඉනිම ප්‍රධාන කොට 10 වැනි පන්දුවාරය වන විට මුළු ලකුණු සංඛ්‍යාව 100 ඉක්මවා ලබා ගැනීමට කැන්ඩි ටස්කර්ස් පිල සමත්වීම කැපී පෙනුණි.

එල්ල කරන ලද වේගවත් පහර ලෝන් ඕන්හි  පන්දු රකිමින් සිටි ධනුෂ්ක ගුණතිලක දක්ෂ ලෙස රැක ගැනීම නිසා නායක කුසල්ගේ ඉනිම හමාර වූයේ කුසල් මෙන්ඩිස්ටත් ප්‍රථමය. දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී ලකුණු 75 ක සම්බන්ධතාවයක් ගොඩ නැංවුණු එම සම්බන්ධතාව පමණක් නොව කුසල්ලා යුගලයම ලකුණු 9 ක් ඇතුළතදී දවා ගැනීමට ලක්ෂාන් සඳකැන් සමත්වූවේය.

පන්දු 24 කදී ලකුණු 28 ක් ලබා සිටි කුසල් පෙරේරා දැවී යෑමෙන් ලකුණු පුවරුවට ලකුණු 9 ක් එක් වද්දී කුසල් මෙන්ඩිස්ද දැවී ගියේ එල්ල කරන ලද වේගවත් පහර ශහිඩ් අෆ්රිඩිගේ සුරතේ සුරකිව රැකගතක් බැවිනි. ලකුණු 49 කින් සමන්විත මෙන්ඩිස් සිය ඉනිම සඳහා හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් කරන ලද්දේ පන්දු 30 කට පමණක් මුහුණ දීමෙනි.

අද තරගයේදී කැන්ඩි ටස්කර්ස් පිල වෙනුවෙන් හිටපු සිම්බාබ්වේ හිටපු නායක බ්‍රෙන්ඩන් ටේලර්ද ක්‍රීඩා කළ අතර ඔහු අංක 4 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණියේය. සිම්බාබ්වේ වෙනුවෙන් ටෙස්ට් තරග 31 ක්, එක්දින තරග 199 ක් සහ විස්සයි-20 තරග 43 ක් වෙනුවෙන් ටේලර් ක්‍රීඩා කර ඇතත් ඒ එකම අවස්ථාවකදීවත් ඔහු ශ්‍රී ලංකාවට පැමිණ තරග කර නොමැත. ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු එකම හෝ පුහුණු සැසියකට සහභාගිවීමේ අවස්ථාව ටේලර් සතු නොවුණත් ඔහු පිළිබඳව විශ්වාසය තබා අද තරගයට ඔහුව ක්‍රීඩා කරවීමට කලමනාකාරීත්වය පියවර ගැනීම කැපී පෙනුණි.

එවන් පසුබිමක ශ්‍රී ලංකාවේදී පළමුවෙන්ම ක්‍රීඩා කරන ලද ඉනිමේදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක්ද සමඟ පන්දු 35 කදී ලකුණු 51 ක් රැස් කිරීමට ටේලර් සමත්වූයේ කළමනාකාරීත්වය තමා පිළිබඳව තැබූ විශ්වාසය අකුරටම ඉටු කරමිනි. එම ඉනිම ප්‍රධාන කොට තරගයේ වීරයා සම්මානයෙන්ද ටේලර් පිදුම් ලැබීය.

මෙම තරගයේදී දෙපිළම වෙනස්කම් දෙක බැගින් සිදුකරමින් තරගයට අවතීර්ණ වූ අතර කැන්ඩි ටස්කර්ස් මුනාෆ් පටෙල් සහ බ්‍රෙන්ඩන් ටේලර් ද, ගෝල් ග්ලැඩියේටර් පිල අකිල ධනංජය සහ ලක්ෂාන් සඳකැන් ද කැඳවා තිබුණි.

තරගාවලියේ පස්වැනි දිනය වන හෙට (දෙසැම්බර් 01 දා) පස්වරුවේදී කලම්බු කිංග්ස් සහ දඹුල්ල වයිකින් ද රාත්‍රියේදී ජැෆ්නා ස්ටැලියන්ස් සහ කැන්ඩි ටස්කර්ස්ද තරග වැදීමට නියමිතව සිටිති.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest