“My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ දඹුල්ල වයිකින්ස්ට එරෙහිව දෙසැම්බර් 09 වැනිදා පැවැති තරගයේදි නියමිත කාල වේලාවේදී පන්දුවාර සංඛ්‍යාව යවා නිම කිරීමට අපොහොසත්වීම මත ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමේ සාමාජිකයින් 11 දෙනාට සිය තරග ගාස්තුවෙන් 20% ක දඩ මුදලක් දඩ වශයෙන් ගෙවීමට නියමර කර තිබේ.
කඩුලු 5 ක පරාජයක් අත්විඳීමට සිදුවූ මෙම තරගයේ අවසන් පන්දුවාරයේ දෙවැනි පන්දුව දක්වා තරගය ඇදී ගියත් ඒ වෙනුවෙන් වෙන්කර තිබෙන කාලය ඇතුළත පන්දුවාර සංඛ්‍යාව යැවීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අසමත්වී තිබේ. අදාළ පන්දුවාර සංඛ්‍යාව යැවීම සදහා ගෝල් ග්ලැඩියේටර් පිල ගත කරන ලද කාලය සැලකීමේදී නියමිත කාල සීමාව වනවිට පන්දුවාරයක් පසුපසින් සිටීම මත එම දඩ මුදල නියම කිරීමට තරග තීරකවරයා ලෙසින් කටයුතු කරන ලද වෙන්ඩල් ලැබ්රෝයි මහතා තීරණය කර තිබේ.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන චර්යාධර්ම පද්ධතියේ 2.23 වන වගන්තියට අනුකූලව, අවම වැරදිවලට අදාළව මෙම දඩය පැනවීමට පියවර ගෙන තිබේ. සිදුවූ වැරද්ද සම්බන්ධයෙන් ගෝල් ග්ලැඩියේටර් නායක භානුක රාජපක්ෂ වරද පිළිගැනීම නිසා එය නඩු විභාගයකින් තොරව අවසන් විය.