slc
logo
Home   |    News
දෙසැම්බර් 7, 2020
LPL නිසා උතුර දකුණ යාවුණු ක්‍රිකට් මිතුදම

Sri Lanka Cricket

උතුරත් දකුණත් යාකරන පවුරක් බවට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන එල්.පි.එල් තරගාවලිය පත් වෙමින් තිබෙන බවට මේ යුගයේදීම අසන්නට සහ දකින්නට ලැබීම කෙතරම් අපූර්ව වූ පුවතක් ද ? දර්ශනයක් ද?

“මල්ලී දකුණතින් පා දඟ පන්දු යැවිය යුත්තේ මෙහෙමයි. පන්දු පතිත කළ යුත්තේ මේ ස්ථානයටයි.”යනුවෙන් සිරිලක දකුණු කෙළවරේ ගාල්ල නගරයේ උපත ලද දැනට මේ තරගාවලියේ දක්ෂම පන්දු යවන්නා ලෙස විරුදාවලිය ලත් වනිඳු හසරංග මෙලෙස උපදෙස් දෙන්නේ උතුරු කෙළවරේ යාපනය නගරයේ ජන්මය ලත් 19 හැවිරිදි විජයකාන්ත් වියස්කාන්ත් ටය.

ගාල්ල රිච්මන්ඩ් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් වනිඳු හසරංගත් යාපනය මධ්‍ය මහා විදුහල වෙනුවෙන් ක්‍රිඩා කරමින් විජයකාන්ත් වියස්කාන්ත් ක්‍රීඩකයාත් ක්‍රිකට් ක්‍රීඩාවේ මුලකුරු කියවා පසුව අද මොවුන් ජත්‍යන්තර මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩා කරමින් එකම කණ්ඩායමකට (ජැෆ්නා ස්ටැලියන්ස්)ක්‍රීඩා කරන්නේ දැඩි මිතුරුකමකිනි. ක්‍රීඩාවට ආගම්, ජාති, කුල හා වර්ණ භේද බල නොපාන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙම එල්.පි.එල් තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයනගේ එකමුතුභාව තවත් එක් සාධකයකි.

මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය බැබළවීමට උතුරු නැගෙනහිර ප්‍රදේශයන්ගෙන් දක්ෂ ක්‍රීඩකයන් බිහිවීම අද ඊයේ සිදුවීමක් නොවන බව ප්‍රකටය. ජනවර්ගික හා වෙනත් ගැටළු මත කලක් මේ තත්ත්වය වෙනස් ව පැවතියත් මීට වසර 2-3ක සිට ක්‍රිකට් ආයතනය හඳුන්වා දුන් “රට පුරා දක්ෂයන් සොයා යෑමේ” (Talent search) වැඩ සටහනෙන් ඉදිරියට ආ ක්‍රීඩකයන් දෙදෙනෙක් නම් යාපනය මැදි  විදුහලේ විජයකාන්ත් වියස්කාන්ත් (2018) සහ මධුෂාන්(2019) වේ.

මේ ක්‍රීඩකයන් දෙදෙනාම ශ්‍රී ලංකා 19 පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ අතර  ඔවුන්ගේ දක්ෂතා අගය කරමින් අදහස් දක්වන  19න් පහළ ප්‍රධාන පුහුණුකරු හිටපු නායක හෂාන් තිලකරත්න මොවුන් ජන්මයෙන්ම කුසලතා රැගෙන ආ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් බවත් ඔවුන් අනාගතයේදී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය දීප්තිමත් කරනු ඇති බව සිය අපේක්ෂාව බවත්  ප්‍රකාශ කරයි.

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලද විජයකාන්ත් වියස්කාන්ත් පසුගිය සිකුරාදා කලම්බු කිංග්ස් සමඟ තරගයට සහභාගී වීමට පෙර ස්ටැලියන්ස් නායක තිසර පෙරේරා  ඔහුට මංගල හිස් වැස්ම පිරිනැමුවේ කණ්ඩායමේ ක්‍රීඩකයන් සියල්ලගේම අත්පොළසන් මැදය. දකුණත් පා දඟ පන්දු යවන්නෙකු ලෙසට මේ තරගයට ඉදිරිපත් වූ වියස්කාන්ත් යාපනය අර්ධද්වීපයෙන්  වසර පනහක කාලයකට පසුව ජාත්‍යන්තර පිටියට පිවිසි ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක් වේ.

වියස්කාන්ත් මේ තරගයේදී තමාට හිමි පන්දුවාර හතර තුල ලකුණු 29ක් පමණක් දී කඩුල්ලක් දවා ගත්තේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමිනි. ඔහු දවාලු කඩුල්ල වුයේ ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ගේ කඩුල්ල ය. තරගයට පසු දින (දෙසැම්බර් 05) 19 වියට පා තැබු මේ පන්දු යවන්නාට මෙම කඩුල්ල කදිම උපන්දින ත්‍යාගයකි. දකුණතින් පිත්ත හසුරවමින් ඔහු පන්දු හතරකදී ලකුණු තුනක් රැස්කරද්දී රූපවාහිනි විස්තර විචාරයේ නියැළී සිටි විදෙස් විස්තර විචාරකයා ප්‍රකාශ කළේ මොහු පහර එල්ල කරන ආකාරය අනුව තව ප්‍රහුණුව ලදහොත්  දක්ෂ පිතිකරුවෙකු වීමට අවස්ථාව ඇති බවයි. ජත්‍යන්තරයේ පවා විකාශනය වූ මේ ක්‍රිකට් තරගය නැරඹීමෙන් උතුරේ ජනතාව පමණක් නොව විදේශයන්හි වෙසෙන මෙරට උතුරේ ජනතාවද අමන්දානන්දයට පත්ව ඇත. එබැවින් එදා දකුණට පමණක් සීමාව තිබූ ක්‍රිකට් උන්මාදය,  උතුරේද පැතිරවීමට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට හැකියාව ලැබී තිබේ.

විජයකාන්ත් වියස්කාන්ත් මෙදින යැවු පන්දු 24න් අටක්ම ලකුණක් වත් නොලැබු පන්දු  වූ අතර මේ තරගාවලියට සහභාගිවන ප්‍රහාරාත්මක පිතිකරු  ලෙස ජාත්‍යන්තරයේ නමක් දිනා සිටින කොදෙව් කණ්ඩායමේ ඇන්ඩ්‍රෙ රසල් මෙහිදී වියස්කාන්ත් ගේ පන්දු හතරකට මුහුණදී ලබා ගත්තේ ලකුණක් පමණි. කලම්බු කිංග්ස් කඩුලු රකින්නා වූ ශ්‍රී ලංකාවේ තවත් හිටපු නායකයෙකු වන දිනේෂ් චන්දිමාල් මොහුගේ පන්දු යැවීම ගැන ප්‍රකාශ කළේ නිර්භයව දක්ෂ ලෙස ඔහු පන්දු යැවු ආකාරය ප්‍රශංසනීය බවය.

යාපනය මැදි විදුහලේ ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස ලංකා 19න් පහළ කණ්ඩායම නියොජනය කළ වියස්කාන්ත් හා මධුෂාන් යන ක්‍රීඩකයන් දෙදෙනාම මීට පෙර ලංකා 19න් පහළ පිළ නියෝජනය කර ජත්‍යන්තර තරගාවලියන්ට සහභාගී වී ඇත .2018 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියා 19න් පහළ කණ්ඩායම සමඟ ටෙස්ට් ( නිල නොවන සිව්දින) තරගයේ දී වියස්කාන්ත්   ලකුණු 37කට කඩුල්ලක් දවා පසුව නොදැවී ලකුණු දහයක්ද ලැබීය.මධුෂාන් 2019 මුල දී බංගලාදේශයේ පැවති 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියට සහභාගිවිණි.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar