slc
logo
Home   |    News
අප්‍රේල් 9, 2021
එක්දින අවසන් ගැටුම රාගම සහ එන්.සී.සී. අතර

sinhala editor

උපුල් තරංගගේ ලකුණු ලකුණු 136 ක ඉනිම හේතුකොට අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයෙන් ලකුණු 18 ක ජයක් වාර්තා කොට අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට එන්.සී.සී. කණ්ඩායම අද (10 දා) සමත්විය. ඒ අනුව එන්. සී. සී. කණ්ඩායම ලබන 11 වැනි ඉරිදා දින රාගම ක්‍රීඩා සමාජය සමඟ කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ශූරතා කුසලාන වෙනුවෙන් අවසන් මහ තරගයේදී තරග වදිනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ලෙසින් සී.සී.සී. පිටියේ පැවැති මෙම තරගයේදී ලකුණු 293 ක ඉලකකයක් බදුරලිය ක්‍රීඩා සමාජය පන්දුවාර 49.3 කදී ලකුණු 274 කට සීමා කිරීමට එන්.සී.සී. පන්දු යවන්නෝ සමත්වූහ.

බදුරලිය ක්‍රීඩා සමාජයේ මුල් කඩුලු 6 ම ලකුණු 179 ක් ඇතුළත බිඳ වැටී තරමක අසීරුතාවයකට පත් වුවද පිතිකරණ අනුපිළිවෙළින් පහළින් පැමිණි ගමිඳු කණිෂ්ක හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමඟ පන්දු 44 කදී ලකුණු 50 ක් රැස් කිරීම නිසා තරගය දෙපිළටම යළි විවෘත විය.

8 වැනි කඩුල්ලට ඩිල්ෂාන් ද සොයිසා සමඟ එක්වුණු ගමිඳු ලකුණු 48 ක සම්බන්ධතාවයක් පවත්වමින් බදුරලිය කණ්ඩායමේ බලාපොරොත්තු නැංවීමට සමත් වුවත් ඩිල්ෂාන් ද සොයිසා දැවී යෑමත් සමඟ තරගයේ වාසිය යළිත් ඈතට යන්නට විය. කෙසේ වෙතත් තම සටන අත් නොහළ ගමිඳු අවසන් පන්දුවාරයේදී ලකුණු 19 ක් දක්වා වූ පරතරයකට රැගෙන ඒමට සමත්වූවේය. එහෙත් අවසන් පන්දුවාරය යැවූ ළහිරු කුමාරගේ පන්දුවාරයට අභීයෝගයක් එල්ල කිරීමට ගමිඳුට නොහැකි වූ නමුත් අත්වන්නට ගිය දැවැන්ත පරාජයේ පරතරය අවම මට්ටමකට රැගෙන ඒමට ඔහු සමත්විය.

බදුරලිය ඉනිම ආරම්භයේදී ටී.එම්. සම්පත් පන්දු 97 කදී ලකුණු 98 ක් රැස් කරමින් සාර්ථක ආරම්භයක් ලබා දුන් නමුත් මැද පෙළ පිතිකරුවන්ගෙන් ලැබිය යුතු සේවය නොලැබී යෑම නිසා එම ඉනිමට වටිනාකමක් එක් නොවීය. සම්පත්ගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 11 කින් වර්ණවත් විය.

එන්. සී. සී. පිල වෙනුවෙන් ශතකයක් ලද උපුල් තරංග සිය ලකුණු 136 සඳහා පන්දු 139 කට මුහුණ දුන්නේය. හයේ පහර 3 කින් සහ හතරේ පහර 12 කින් තරංගගේ ඉනිම වර්ණවත් වද්දී කමිල් මිශාර ලකුණු 46 කින් දායකත්වය දැක්වීය.

එන්.සී.සී පන්දුවාර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 292 යි – (උපුල් තරංග 136, කමිල් මිශාර 46, ඇන්ජලෝ පෙරේරා 28, චතුරංග ද සිල්වා 30, චාමික කරුණාරත්න 16, අලංකාර අසංක 60/3, චාමිකර එදිරිසිංහ 56/2)

බදුරලිය පන්දුවාර 49.3 කදී සියලු දෙනා දැවී ලකුණු 274 යි – (ටී.එම්. සම්පත් 98, ගමිඳු කණිෂ්ක 50, දුනිත් ජයතුංග 21, ඩිල්ෂාන් ද සොයිසා 37, මිලින්ද සිරිවර්ධන 18, චාමිකර එදිරිසිංහ 10, ළහිරු කුමාර 42/4, චතුරංග ද සිල්වා 44/2, චාමික කරුණාරත්න 65/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar