slc
Home   |    News
නොවැම්බර් 15, 2021
ලෝක කුසලානෙට සුදුසුකම් ලබන්න කාන්තා පිල සිම්බාබ්වේ යයි

sinhala editor

By Chamila Karawita

නවසීලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගිවීම සඳහා චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු කාන්තා ක්‍රිකට් කණ්ඩායම හෙට (16 වැනිදා) අළුයම පිටත්ව යනු ඇත.

රටවල් 9 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ගෙවී ගිය මාස 5 කට ආසන්න කාලයක් තුළ පුහුණු සැසි ගණනාවකට සහභාගිවෙමින් තරගාවලිය සඳහා සාර්ථක සූදානමක් ලබාගත්හ. පිරිමි කණ්ඩායම් වෙනුවෙන් ලබා දෙන ලද පහසුකම්වල කිසිදු අඩුවක් නොකොට කාන්තා කණ්ඩායමටද ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබූ අතර එහිදී නේවාසික පුහුණු කඳවුරු 3 කටද සහභාගිවීමේ අවස්ථාව කාන්තා ක්‍රීඩිකාවන් වෙත ලබා දීමට පියවර ගනු ලැබීය. එම නේවාසික පුහුණු කඳවුරු අතර එක් පුහුණු සැසියක් දඹුල්ලේදීද අනෙක් සැසි දෙක කොළඹදීද පැවැත්විණ.

හිටපු ටෙස්ට් නායක හෂාන් තිලකරත්න මහතා ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන කාන්තා කණ්ඩායම සිය අවසන් පුහුණු සැසිය සඳහා ඊයේ (14 වැනිදා) පී. සරා ඕවල් පිටියේදී සහභාගිවිය. ඔස්ට්‍රේලියාවේ පැවැති ‘බිග් බෑෂ්’ කාන්තා විස්සයි-20 තරගාවලියට සහභාගිවීමෙන් පසු නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ සිටින කණ්ඩායම් නායිකාව වන චමරි අතපත්තුද එම පළමු වතාවට එම පුහුණු සැසියට සහභාගිව සිටියාය.

“අපි හොඳ ඉතා සාර්ථක පුහුණු සැසි කීපයකටම සහභාගිවෙලා සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා හොඳ සූදානමකින් සිටිනවා” යි තරගාවලි සූදානම පිළිබඳව කණ්ඩායම් නායිකා අතපත්තු පවසා සිටියාය.

සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ‘ඒ’ කාණ්ඩය යටතේ තරග කරන අතර බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්තය සහ නෙදර්ලන්තය මූලික වටයේ ප්‍රතිවාදීහු වෙති. පැපුවා නිව්ගිනියා කණ්ඩායමද මෙම කාණ්ඩයට ඇතුළත්ව සිටියත් සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලදී කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට කොවිඩ් අසාධනය වී තිබෙන බව තහවුරු වීම නිසා ඔවුහු තරගාවලියට සහභාගිවීමෙන් වැළකී සිටියි.

“මුලික වටයේ තරග 3 ම හොඳින් ක්‍රීඩා කරන එක තමයි අපේ බලාපොරොත්තුව. මං හිතනවා අපිට හොඳ තරගාවලියක් ක්‍රීඩා කරන්න ලැබෙයි කියලා. කණ්ඩායම ගත්තහම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් රැසක් සිටිනවා. ඒ වගේම දක්ෂ යොවුන් ක්‍රීඩිකාවන් කීප දෙනෙක්ම ඉන්නවා. ඔවුන්ගේ සහයෝගයත් එක්ක මේ තරගාවලිය හොඳින් ක්‍රීඩා කරලා ප්‍රධාන තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා” යැයි අතපත්තු වැඩි දුරටත් පවසා සිටියාය.

කොවිඩ් 19 බලපෑම හේතුවෙන් කාන්තා කණ්ඩායමට අවසන් වසර 2 කට ආසන්න කාලයේදී ජාත්‍යන්තර තරගාවලියකට සහභාගිවීමේ අවස්ථාව මඟ හැරුණි. කෙසේ වෙතත් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග අවස්ථාවට සූදානම් වීම සඳහා මෙම පුහුණු සැසි අතරතුරදී පුහුණු තරග 19 කට ක්‍රීඩා කිරීමේ අවස්ථාව සලසා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

ඒ අතර කැපී පෙනෙනම ක්‍රීඩිකාව බවට පත්වීමට උප නායිකා හර්ෂිතා මාධවී පත්වූ අතර ඇය ශතක 3 ක් වාර්තා කිරීමට සමත්වූවාය. ඇයට අමතරව හසිනි පෙරේරා සහ ප්‍රසාදිනී වීරක්කොඩි ශතක ලබාගත් සෙසු ක්‍රීඩිකාවන් වූහ. ප්‍රසාදිනී වීරක්කොඩි රැස් කරන ලද ශතකයට අමතරව ලකුණු 98 ක්ද ලබා ගනිමින් පිතිකාරිණියන් අතර වැඩිදුර බලාපොරොත්තු තබා ගත හැකි ක්‍රීඩිකාවක බවට පත්වූවාය.

ලීග් ක්‍රමය යටතේ පැවැත්වෙන එම තරග වටයේ ඒ ඒ කාණ්ඩ වල පෙරමුණට ගනු ලබන කණ්ඩායම් 3 නැවතත් සුපිරි කණ්ඩායම් 6 ක තරග වටයකට සුදුසුකම් ලබන නමුත් එහිදී ප්‍රතිවාදී කාණ්ඩ සමඟ පමණක් එදිරිවාදීන් ලෙසින් තරග වදිනු ලබයි. ඒ අනුව එක් කණ්ඩායමකට ප්‍රතිවාදී කාණ්ඩයේ සිටින කණ්ඩායම් 3 සමඟ තරග කිරීමේ අවස්ථාව උදාවන අතර ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට සමත්වන කණ්ඩායම් තුන 2022 වසරේ නවසීලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා වරම් ලබනු ඇත. එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය යන රටවල් මේ වන විටත් ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලබා සිටිති.

මෙම ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ලබන නොවැම්බර් 21 වැනිදා සිම්බාබ්වේදී ආරම්භවීමට නියමිතය. මූලික සැලසුමට අනුව මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ ගෙවී ගිය 2020 වසරේදී ශ්‍රී ලංකාවේදීය. ජූලි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලියට කොවිඩ් වෛරසයේ බලපෑමත් සමඟ එය කල් දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සිදුවූ අතර පසුව මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය මෙම වසරේ නොවැම්බර් මසදී සිම්බාබ්වේහිදී පැවැත්වීමට තීරණය කෙරිණ.

ශ්‍රී ලංකා කාන්තා පිල  – චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා මාධවී (උප නායිකා), නිලක්ෂි ද සි්වා, හසිනි පෙරේරා, සුගන්දිකා කුමාරි, ඕෂදී රණසිංහ, අමා කාංචනා, උදේශිකා ප්‍රබෝධනී, අචිනි කුලසූරිය, අනුෂ්කා සංජීවනී, කවීෂා දිල්හාරි, තාරිකා සෙව්වන්දි, ප්‍රසාදිනී වීරක්කොඩි, ඉමේෂා දුලානි, විශ්මි රාජපක්ෂ, සචිනි නිසංසලා.

අතිරේක ක්‍රීඩිකාවන් – උමේෂා තිමාෂිනී, කාව්‍යා කාවින්දි, මදුශිකා මෙත්තානන්ද, සත්‍යා සංදීපනී, ලිහිණි අප්සරා.

පුහුණු කාර්යය මණ්ඩලය – හෂාන්ත තිලකරත්න (ප්‍රධාන පුහුණුකරු, හේමන්ත දේවප්‍රිය (කළමනාකරු, ටස්නීම් යුසුෆ් (භෞත චිකිත්සක), රවීන්ද්‍ර පුෂ්පකුමාර (වේග පන්දු පුහුණුකරු), ලංකා ද සිල්වා (පිතිකරණ පුහුණුකරු), චාමිකා පෙරේරා (සම්භාහක), දිනුක් හෙට්ටිආරච්චි (දඟ පන්දු පුහුණුකරු), කවිරංග විජේසිංහ (පරිගණක විශ්ලේෂක), දර්ශන් වීරසිංහ (අභ්‍යාසක), මතීෂ ද සිල්වා (වෛද්‍යවරයා), ඉන්ද්‍රානී ආරියරත්න (ක්‍රීඩිකාවන් භාර නිලධාරිණී)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest