slc
logo
Home   |    News
දෙසැම්බර් 19, 2021
කලම්බු පරදා දඹුල්ල ඉදිරියට

sinhala editor

Chamila Karawita reporting from Hambantota

උඩ පන්දු අතහැරීම්, දුවද්දී දවා ගැනීම් ගිලිහීම් මෙන්ම පිතිකරණ අනුපිළිවෙළේ වූ අස්ථාවර භාවයන් සියල්ලම කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ ඉදිරි ගමනට බාධාවන් බවට පත්වද්දී ඒ සියල්ල සිය වාසීන් බවට හරවා ගත් දඹුල්ල ජයන්ට්ස් ක්‍රීඩකයෝ තරගාවලියේ ඉදිරි ගමන සඳහා තීරණාත්මක වුණු ‘එලිමිනේටර්’ තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට අද (19 දා) රාත්‍රියේදී සමත්වූහ. එම ජයග්‍රහණයත් සමඟ ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත සුදුසුකම් ලැබීමේ තරග වටයේ දෙවැනි තරගය සඳහා දඹුල්ල ජයන්ට්ස් පිල සුදුසුකම් ලබා ගත් අතර පරාජිත කලම්බු ස්ටාර්ස් කණ්ඩායම තරගාවලියෙන් ඉවතට විසිවිය.

ලකුණු 146 ක ඉලක්කයක් හඹා යෑමේදී පළමු පන්දුවෙන්ම නිරෝෂන් දික්වැල්ලව දවා ගනිමින් සාර්ථක ආරම්භයක් ලබා දීමට දුෂ්මන්ත චමීර සමත් වද්දී ජයග්‍රහණය සඳහා තීරණාත්මක ඉනිමක් ක්‍රීඩා කරන ලද පිල් සෝල්ට් ලබා දුන් උඩ පන්දුව මිඩ් ඕන් හි පන්දු රැකි දිනේෂ් චන්දිමාල් අතින් ගිලිහී නොයන්නට තරගය මීට වඩා වෙනස් මුහුණුවරක් ගනු ඇත.

ලකුණු 03 දී අහිමිවන්නට ගිය ඉනිම, උඩ පන්දු ගිලිහී යෑමෙන් වරම් ලබා ගත් දකුණත් පිතිකරුවා තෙවැනි කඩුල්ල වෙනුවෙන් ජනිත් ලියනගේ සමඟ එක්ව වටිනා ලකුණු 48 ක් එක් කළහ. පන්දු 33 කදී වාර්තා වුණු එම සම්බන්ධතාවයේදී සෝල්ට්ගේ දායකත්වය පන්දු 21 කදී ලකුණු 32 කි. හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් සෝල්ට්ගේ ඉනිමේදී ලකුණු 31 ක් ලබා සිටියදී කුසල් පෙරේරා වෙත ස්ටම්ප් කිරීමේ අවස්ථාවක් ලබා දුන් නමුත් එයද ගිලිහී ගියේය.

මෙවර තරගාවලියේ හොඳම සොයා ගැනීම බවට පත්ව සිටින ජනිත් ලියනගේ ලකුණු 146 ක ඉලක්කය හඹා යෑමේ නියමුවා වූයේ පන්දු 47 කදී නොදැවී ලකුණු 56 ක් ලබාගනිමිනි. එතරම් කලබලයක් නොපෙන්වූ දකුණත් පිතිකරුවා අවශ්‍ය වේගය රඳවා ගත්තේ හතරේ පහර 5 කින් ඉනිම සරසා ගනිමිනි.

නජිබුල්ලා සද්‍රාන් ට එක්වූ ජනිත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 61 ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ තවත් පන්දු 7 ක් ඉතිරිව තබා ගනිමිනි. ජයග්‍රහණයට වැදගත් දායකත්වයක් ලබා දුන් සද්‍රාන් පන්දු 28 කදී ලකුණු 34 ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර අද දිනයේදී පැයට කිලෝ මීටර 150 කට වඩා වේගයෙන් (150.3) පන්දුවක් යැවීම කැපී පෙනුණි. ප්‍රධාන වේග පන්දු යවන්නා සිය පන්දුවාර 4 ලකුණු 24 කට සීමා කරමින් කඩුල්ලක් දවා ගනිද්දී දඟ පන්දු යවන්නන් ලෙසින් ක්‍රීඩා කළ සීකුගේ ප්‍රසන්න සහ ජෙෆ්රි වැන්ඩර්සිට පන්දු යැවීමෙන් එතරම්ම අභියෝගයක් එල්ල කිරීමට නොහැකිවීම ස්ටාර්ස් පරාජයට තවත් හේතුවක් වන්නට විය.

ආරම්භයේ සිටම ඉතාමත් විශ්වාසයකින් යුතුව පන්දු යැවූ නුවන් ප්‍රදීප් සහ ජොෂ් ලිට්ල් පවර් ප්ලේ පන්දුවාර 6 න් 5 ක්ම යවමින් ප්‍රතිවාදීන්ට රැස් කර ගැනීමට අවස්ථාව ලබා දී තිබුණේ ලකුණු 24 ක් පමණි. ඒ අතරතුරදී කුසල් පෙරේරාගේ කඩුල්ල දවා ගැනීමට නුවන් ප්‍රදීප් සමත්විය. එම උඩ පන්දුව රැක ගත් චාමික කරුණාරත්න තරමක ආවේගශීලීත්වයක් පෙන්නුම් කිරීම කැපී පෙනුණු අතර ඒ පිළිබඳව දැවී ගිය කුසල් විනිසුරුවන්ට පැමිණිලි කිරීමද එම ඉනිම ආරම්භයේ කැපී පෙනුණු සිදුවීමක් විය.

කඩා වැටුණු ස්ටාර්ස් ඉනිම නඟා සිටුවීමේදී තෙවැනි කඩුල්ලට එක්වු ධනංජය ද සිල්වා සමඟ එක්වූ පැතුම් නිස්සංක පන්දු 25 කදී ලකුණු  42 ක්ද ඇන්ජලෝ මැතිව්ස් සමඟ එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 28 ක් රැස් කිරීමට සමත්වූහ. ආරම්භය බිඳ වැටුණු ස්ටාර්ස් ඉනිමේ පළමු ලකුණු 50 එම ඉනිමේ 49 වැනි පන්දුවේදී සනිටුහන් වද්දී 100 වැනි ලකුණු 16 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුව තෙක්ම ප්‍රමාදවිණ.

ඉතා හොඳින් සිය වගකීම ඉටු කළ ඉම්රාන් තහීර් සහ නුවන් ප්‍රදීප් කඩුලු 2 බැගින් දවා ගත් අතර ඔවුන්ගේ ලකුණු ලබා දීමද පන්දුවාරයකට 6.25 ට අඩුවෙන් තබා ගත්හ. කඩුලු දවා ගැනීමට නොහැකි වුවත් ජොෂ් ලිට්ල් සිය පන්දුවාර 4 ලකුණු 24 කදී සීමා කරමින් ප්‍රතිවාදී පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළේය. ස්ටාර්ස් පිලේ පිතිකරුවන් රැසක්ම දකුණත් වූවන් බැවින් දඹුල්ල පිලේ ප්‍රධානම දඟ පන්දු යවන්නා වන රමේෂ් මෙන්ඩිස් එකම පන්දුවාරයක් හෝ යැවීම කැපී පෙනණ.

ඇන්ජලෝ මැතිව්ස් විසින් එල්ල කරන ලද හයේ පහරත් සමඟ ලකුණු 100 සීමාව ඉක්මවා ගිය ස්ටාර්ස් කණ්ඩායමේ ඉතිරි ලකුණු 45 රැස් කිරීම පන්දු 26 කදී සිදුවිය. ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කළ නායක මැතිව්ස් අවසන් වනතෙක්ම කඩුල්ලේ රැඳෙමින් පන්දු 34 කදී ලකුණු 50 ක් රැස් කර ගත්තේය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වුණු මැතිව්ස්ගේ ඉනිමට අමතරව අවසන් පන්දු 3 ට මුහුණ දීමට පැමිණි ඇෆ්ගනිස්තාන ක්‍රීඩක කරීම් සමිට් හයේ පහරක් සහ හතරේ පහරක් සමඟින් පන්දු 3 කදී ලකුණු 11 ක් රැස් කරමින් ලකුණු පුවරුව ඉහළ දැමීය.

තරගාවලියේ වැඩිම ප්‍රහාරාත්මක වේගයක් සනිටුහන් කර ගැනීමට සමත්ව සිටින පිතිකරුවන් දෙදෙනා අතර පසුවන දිනේෂ් චන්දිමාල්ට පෙර සීකුගේ ප්‍රසන්නව පන්දුවට පහර දීමට එවුවද කලමනාකාරීත්වය බලාපොරොත්තු වූ වේගය ප්‍රසන්නට ලබාදීමට නොහැකි විය. පන්දු 11 කට මුහුණ දුන් ප්‍රසන්න රැස් කරගත්තේ ලකුණු 7 ක් පමණි.

තරගයේ වීරයා – ජනිත් ලියනගේ

ලකුණු සාරාංශය

කලම්බු ස්ටාර්ස් පන්දුවාර 20 කදී කඩුලු 6 කට ලකුණු 145 යි – (ඇන්ජලෝ මැතිව්ස් 50*, පැතුම් නිස්සංක 42, ටොම් බැන්ටම් 13, ධනංජය ද සිල්වා 15, කරීම් ජනට් 11*, නුවන් ප්‍රදීප් 23/2, ඉම්රාන් තහීර් 25/2, චාමික කරුණාරත්න 31/1)
දඹුල්ල ජයන්ට්ස් පන්දුවාර 18.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 146 යි – (ජනිත් ලියනගේ 56*, නජිබුල්ලා සද්‍රාන් 34, පිල් සෝල්ට් 32, සඳුන් වීරක්කොඩි 10, චාමික කරුණාරත්න 10*, දුෂ්මන්ත චමීර 24/1, නවීන් උල්හක් 26/1, සීකුගේ ප්‍රසන්න 36/1, ජෙෆ්රි වැන්ඩර්සි 34/1)

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest