slc
logo
Home   |    News
දෙසැම්බර් 23, 2021
දෙවැනි LPL ශූරතාවත් ‘ජැෆ්නා කිංග්ස්’ට

sinhala editor

Chamila Karawita reporting from Hambantota

තරගයට පෙර සඳහන් කළ පරිදිම පෙර තරගවලදී සිදුවූ අඩුපාඩු අවසන් මහ තරගයේදී නොවන්නට වග බලා ගනිමින් තරග වැදීම නිසා පිට පිටම දෙවැනි වරටත් ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ශූරයින් ලෙස කිරුළු පැළඳීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයෝ  අද (23 දා) රාත්‍රියේදී සමත්වූහ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දෙවැනි වතාවටත් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති මෙම අවසන් මහ තරගයේදී ගෝල් ග්ලැඩියේටර් පිලට එරෙහිව ලකුණු 23 ක ජයක් වාර්තා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ශූරතා කුසලාන සමඟ මුදලින් රුපියල් කෝටි 2 ක ජය මල්ලකටද හිමිකම් කීය.

ජැෆ්නා කිංග්ස් පිල ලබා දුන් ලකුණු 202 ක ඉලක්කය හඹා යෑමේදී ග්ලැඩියේටර් පිලේ ආරම්භක පිතිකරුවන් වූ ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් පන්දු 26 කදී  ලකුණු 63 ක වේගවත් ආරම්භයක් ලබා දීමට සමත් වුවත්, ඉන් පසු පිටියට පිවිසි කිසිවකුටත් වගකීමක් ගෙන පන්දුවට පහර දීමට නොහැකිවීම කණගාටුවෙන් වුවද දෙවැනි වතාවටත් අනුශූරතාවයෙන් පමණක් සෑහීමකට පත්වීමට ගෝල් ග්ලැඩියේටර් පිලට සිදුවිය.

මොවුන් දෙදෙනාගේ වේගවත් ආරම්භය ප්‍රධාන කොට පවර් ප්ලේ පන්දුවාර 6 දී ලකුණු 81 ක් රැස් කර ගැනීමට ග්ලැඩියේටර් පිලට අවස්ථාව උදාවිය. මෙය එල්.පී.එල්. තරග ඉතිහාසයේ පවර් ප්ලේ අවස්ථාවකදී වාර්තා වුණු ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවටද පත්විය.

කඩුලු අතර දිව යෑමේදී වූ දවා ගැනීම් සහ ලැබුණු උඩපන්දු සියල්ල ඒ ආකාරයෙන්ම ග්‍රහණය කර ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට හැකියාව ලැබීම නිසා ඉලක්කය හඹා යෑමේදී ග්ලැඩියේටර් පිලට රැස් කරගත හැකි වූයේ පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 178 ක් පමණි.

පන්දු 19 කදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කරගත් ගුණතිලක හැකි උපරිමයෙන් ග්ලැඩියේටර් ජයග්‍රහණයට දායකත්වය ලබා දුන්නත්, ඔහුගේ දැවී යෑමත් සමඟ කඩාවැටීඹ ආරම්භ විය. හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක්ද සමඟ පන්දු 21 කදී ලකුණු 54 ක් රැස් කරගත් වමත් ආරම්භක පිතිකරුවා වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. ඊළඟ පන්දුවේදී බෙන් ඩන්ක්වද දවා ගත් වනිඳු සිය නායකයාගේ බලාපොරොත්තු අකුරටම ඉටු කළේය.

වෙන්න යන දේ දැනගත් කුසල් මෙන්ඩිස් අනෙක් අන්තයෙන් රැඳී සිටිමින් කණ්ඩායම ගොඩ ගැනීමේ උත්සාහයක් ගත්තද කඩුලු අතර දිව යෑමේදී වූ අතපසුවීම නිසා දුවද්දී දැවී යෑමකට හසුව පිටියෙන් ඉවත්ව ගියේය. පන්දු 28 කට මුහුණ දුන් කුසල් ලකුණු 39 ක් ලබා සිටියේ හයේ පහරක් සහ හතරේ පහර 3ක් ඉනිමට ඇතුළත් කර ගනිමිනි. මාස 6 ක තරග තහනමකින් පසු එල්.පී.එල්. පිටියට පිවිස් මෙන්ඩිස් මෙම තරගාවලිය අහවර කළේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමිනි. තරග 10 කට ක්‍රීඩා කළ මෙන්ඩිස් ප්‍රහාරාත්මක වේගය 148.63 ක් රඳවා ගනිිමන් මුලු ලකුණු 327 ක් රැස් කරමින් පිතිකරුවන් අතර පෙරමුණ ගත්තේය. මෙන්ඩිස්ට අමතරව මොහොමඩ් හෆීස්ද දුවද්දී දැවී යෑමකට හසුවීම ග්ලැඩියේටර් හඹා යෑමට දැඩි බලපෑමක් එල්ල කළේය.

පන්දු යැවීමේදී සහෝදරයින් වූ වනිඳු හසරංග සහ චතුරංගද සිල්වා කඩුලු 2 බැගින් බිඳ හෙළද්දී මහීෂ් තීක්ෂණ, ජේඩ්න් සීල්ස් සහ සුරංග ලක්මාල් එක් කඩුල්ල බැගින් දවා ගත්හ. කඩුල්ලක් දවා ගත්තද දැඩි ප්‍රහාරයකට ලක් වුණු මහීෂ් තීක්ෂණගේ පන්දුවාර 4 දී ලකුණු 51 ක් උදුරා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවන් සමත්ව තිබිණ.

ධනංජය ලක්ෂාන් යැවූ අවසන් පන්දුවාරයේදී උදුරා ලකුණු 19 ත් සමඟ අවසන් මහ තරගයේදී ප්‍රතිවාදී ගෝල් ග්ලැඩියේටර්ස් පිල හමුවේ ලකුණු 202 ක අභියෝගාත්මක ඉලක්කයක් ලබා දීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට අවස්ථාව උදාවිය. ධනංජයගේ අවසන් පන්දුවාරයට මුහුණ දුන් තිසර හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් පන්දු 9 කදී ලකුණු 17 ක් ලබා කිංග්ස් ලකුණු වේගය වැඩි කළේය. තිසරගේ ඉනිම සහ ෂොයෙබ් මලික්ගේ ඉනිම ප්‍රධාන කොට අවසන් පන්දුවාර 5 දී  ලකුණු 64 ක් ග්ලැඩියේටර් පන්දු යවන්නන්ගෙන් උදුරා ගැනීමට සමත්වූහ.

කාසියේ වාසිය දිනා ගැනීමත් සමඟ පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් පිලට සාර්ථක ආරම්භයක් ලබා දුන් අවිෂ්ක ප්‍රනාන්දු සහ රාමනුල්ලා ගුර්බාස් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 56 ක් රැස් කළහ. එම පිතිහරඹය ප්‍රධාන කොට පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 දී ලකුණු 61 ක් ලබා ගැනීමට කිංග්ස් පිලට හැකියාව ලැබිණ.

ලෝන් ඕන් කලාපයේ පන්දු රැකි කුසල් මෙන්ඩිස් උඩ පන්දුවක් රැක ගැනීම මත ගුර්බාස්ගේ ඉනිම අවසන් වුවත් සිය අන්තයෙන් දිගටම පහර දුන් අවිෂ්ක ප්‍රනාන්දු මෙවර තරගවාරයේ දෙවැනි අර්ධ ශතකය අද රැස් කර ගැනීමට සමත්වූවේය. දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයේදී ශතකයක් ලබා ගැනීමට සමත්වූ දකුණත් ආරම්භක පිතිකරුවා අද දිනයේ පන්දු 41 කදී ලකුණු 63 ක් රැස් කළේය.

වේගය අඩාල කරමින් නුවන් තුෂාර එවන ලද පන්දුවකට එල්ල කරන ලද පහර මිඩ් විකට්හි පන්දු රැකි ධනුෂ්ක ගුණතිලකගේ දෑත් අතර සිරවීම නිසා අවිෂ්කගේ වටිනා ඉනිම ලකුණු 63 කදී නිමාවට පත්වද්දී ඉනිම හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 කින් වර්ණවත් කර ගත්තේය.

ගුර්බාස් දවා ගැනීමේ ගෞරවය හිමිකරගත් සමිට් පටෙල් මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාවේ වාර්තාව තවත් ඉහළට රැගෙන ගියේය. දැවී යන විටත් ප්‍රවේගකාරී ඉනිමක් දියත් කර තිබූ ගුර්බාස් හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමඟ පන්දු 18 කදී වේගවත් ලකුණු 35 ක් රැස් කරගෙන සිටියේය.

ආරම්භයේ සිටම පාලනය ගිලිහී යෑමට අමතරව දුර්වල උඩ පන්දු රැක ගැනීම් සහ පන්දු රැකීම් හමුවේ ග්ලැඩියේටර් පිලේ විශ්වාසයෙහි කිසියම් බිඳ වැටීමක් ක්‍රීඩාංගණය තුළ පෙන්නුම් කළේය. ඒ සියල්ල තමන්ගේවාසියට හරවා ගත් අවිෂ්ක ප්‍රනාන්දු සහ ටොම් කොලර් කැඩ්මෝර් දෙවැනි කඩුල්ල වෙනුවෙන්ද පන්දු 44 කදී ලකුණු 63 ක් සහ ෂොයෙබ් මලික් සහ කොලර් කැඩ්මෝර් පන්දු 34 කදී ලකුණු 62 ක් වශයෙන් ශක්තිමත් සම්බන්ධතා පැවැත්වූහ.එම සම්බන්ධතාවයේදී  ෂොයෙබ් මලික්ගේ දායකත්වය පන්දු 11 කදී ලකුණු 23 කි.    

අවසන් මහ තරගයේ වීරයා – අවිෂ්ක ප්‍රනාන්දු

තරගාවලියේ වීරයා – අවිෂ්ක ප්‍රනාන්දු

තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා – ජනිත් ලියනගේ (දඹුල්ල ජයන්ට්ස්)

ශක්තිවන්තම ක්‍රීඩකයා – තිසර පෙරේරා

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar