slc
logo
Home   |    News
දෙසැම්බර් 11, 2021
හරි අඩක් අවසානයේ ජැෆ්නා පළමු තැන රැක ගනියි

sinhala editor

By Chamila Karawita

දෙවැනි වරට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2021 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ හරි අඩක් හෙවත් තරග 10 ක් අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්ව සිටියි.

මෙවර තරග වාරයේ තරග 4 කට සහභාගිවී සිටින ජැෆ්නා කිංග්ස් පිල ජයග්‍රහණ 3 ක් සමග ප්‍රසාද ලකුණු 6 ක් ලබා එම සටහනේ පෙරමුණ ගෙන සිටියි. මෙතෙක් වැඩිම තරග සංඛ්‍යාවක් වන තරග 5 කට ක්‍රීඩා කර සිටින ගෝල් ග්ලැඩියේටර් පිල ජයග්‍රහණ 2 ක් සමඟින් එම සටහනේ දෙවැනි ස්ථානයට පත්ව සිටියි.

මෙතෙක් තරගාවලියේ ප්‍රතිඵල රහිත වූ එකම තරගය බවට පත්වූයේ දඹුල්ල ජයන්ස්ට් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර ඉකුත් 10 වැනිදා පැවැති තරගය වේ. වර්ෂාව හේතුවෙන් තරගය අතර මඟ නවතා දැමුණු අතර දෙපිළටම ප්‍රසාද ලකුණ බැගින් හිමිවිය. ගෝල් ග්ලැඩියේටර්ස් පිල මෙන්ම දඹුල්ල ජයන්ස්ට් පිල ජයග්‍රහණ දෙකක් සහ නොවිසඳුණු තරගයේ ප්‍රසාද ලකුණද සමඟ සම තත්ත්වයේ පසු වුවත් දළ ලකුණු ලබා ගැනීමේ වේගය දසුන්ගේ කණ්ඩායමට වඩා භානුක රාජපක්ෂගේ කණ්ඩායම ඉදිරියෙන් සිටින බැවින් ඔවුන්ට දෙවැනි ස්ථානය හිමිව තිබේ.   

පළමු තරග 3 ම පරාජයට පත්ව සිටි කැන්ඩි වොරියර්ස් පිල ගෝල් ග්ලැඩියේටර් පිලට එරෙහිව ජය වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි තැනට පැමිණ සිටිද්දී ධනංජය ද සිල්වා තාවකාලික නායකයා ලෙසින් කටයුතු කරන කලම්බු ස්ටාර්ස් පිල එක් ජයග්‍රහණයක් සමඟින් එම සටහනේ පස්වැනි තැන රැඳී සිටියි.

මේ අතර මෙතෙක් පැවැති තරග වලදී වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ දඹුල්ල ජයන්ස්ට් කණ්ඩායමේ පිල් සෝල්ට්ද කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ සමිට් පටෙල්ද පෙරමුණේ පසුවෙයි. සෝල්ට් තරග 5 කදී ලකුණු 180 ක්ද පටෙල් තරග 5 කදී කඩුලු 9 ක්ද ලබා එම ලැයිස්තුවල පෙරමුණ ගෙන සිටිති.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest