slc
Home   |    News
ජනවාරි 22, 2022
වසර 6 කට පසු යෞවනයෝ අවසන් කණ්ඩායම් 8 ට සුදුසුකම් ලබති

sinhala editor

අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මේවන විට විශිෂ්ට දස්කම් දක්වමින් සිටින ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම සිකුරාදා (21 දා) රාත්‍රියේ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් දූපත් පිලට එරෙහිව කඩුලු තුනක ජයක් අත්කර ගනිමින් අපරාජිතව දෙවැනි තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වූවේය.

‘ඩී’ කාණ්ඩය යටතේ තරග වැදි තරග 3 ම ජය ගනිමින් සුපිරි කණ්ඩායම් අතර තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වද්දී සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මූලික වටයෙන්ම ඉවතට විසිවීම කැපී පෙනිණ. ඒ අනුව 2016 වසරෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමක් පළමු කණ්ඩායම් 8 අතර තරග වටයට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාව ලෙසින්ද මෙම තරගාවලිය ඉතිහාස ගත වන්නේය.

අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයට සුදුසුකම් ලබන ලද්දේ චරිත් අසලංකගේ නායකත්වය යටතේ 2016 වසරේදී බංග්ලාදේශයේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදීය. වනිඳු හසරංග පවා ක්‍රීඩා කරන ලද එම තරගාවලියේදී ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරග දක්වා පැමිණීමට සමත්විය.

කොදෙව් කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු නවයකට ලබාගත් ලකුණු 250 පහසුවෙන් හඹාගිය ශ්‍රී ලංකා යෞවනයෝ පන්දුවාර 48.4 කදී සපුරා ගන්නා ලද්දේ කඩුලු 7ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම අයත්වූ “ඩි” කොටසේ ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ ස්කොට්ලන්තය යන කණ්ඩායම් තුනම පහසුවෙන්ම පරාජය කරමින් ශ්‍රී ලංකාව එම කොටසේ ප්‍රථම ස්ථානයේ මේ වනවිට පසුවන්නේ ජයග්‍රාහී විලාශයෙනි.

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දූපත් තරගයේ ලංකා නායක දුනිත් වෙල්ලාලගේ නැවත වතාවක් පන්දු යැවීමේදී දස්කම් දක්වමින් ලකුණු 39කට කඩුලු තුනක් දවාලූ අතර ලංකා පිතිකරුවන් අතුරින් කැපීපෙනුණේ ආරම්භක පිතිකරු සදීෂ රාජපක්ෂ (76) අංජල බණ්ඩාර (40) ෂෙවොන් ඩැනියෙල් (34) සහ රනුදු සෝමරත්නය (නොදැවී 28) ය.

ලකුණු 251ක් ජයග්‍රාහී ඉලක්කයක් කරා යාමට ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණි අවස්ථාවේදී ලංකා කණ්ඩායම පන්දුවාර 39.4ක් වන විට කඩුලු පහකට ලකුණු 199ක් රැස්කරමින් ජයග්‍රහණය අභියස සිටියදී ප්‍රබල පිතිකරු සදිෂ රාජපක්ෂගේ දැවීයාමත් සමඟ ලංකා ජයග්‍රහණය මදක් ප්‍රමාදවිණි. ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි සදිෂ පස්වැනි පිතිකරු ලෙස දැවී යනතෙක්ම මහඟු සේවයක් කණ්ඩායම වෙනුවෙන් ඉටුකරමින් කණ්ඩායමේ වැඩමි ලකුණු ලාභියා බවට පත්වූයේ පන්දු 115කට මුහුණදී හතරේ පහක් සමඟ ලකුණු 76ක් ලබාගනිමිනි. ඔහුගේ ඉනිම තරගයේ වීරයා සම්මානයද ඔහුට ගෙන දුන්නේය.

ලංකා කණ්ඩායමේ හොඳම සබඳතායන් දෙක වූයේ සිව්වන කඩුල්ලට සදිෂ රාජපක්ෂ සහ අන්ජල බණ්ඩාර එක්ව පන්දු 94 කදී එක් කළ ලකුණු 78 ත් දෙවන කඩුල්ල වෙනුවෙන් සදීෂ රාජපක්ෂ සහ ෂෙවොන් ඩැනියල් එක්ව පන්දු 50 කදී රැස් කරන ලද ලකුණු 52 ත් වේ.

අංජල බණ්ඩාර පන්දු 52කදී හතරේ දෙකක් හයේ පහරක් සමඟ ලකුණු 40ක්ද ෂෙවොන් ඩැනියෙල් පන්දු 33කදී හතරේ පහක් හයේ පහරක් සමඟ ලකුණු 34ක්ද රනුදු සෝමරත්න පන්දු 27කදී හතරේ තුනක් සමඟ නොදැවී ලකුණු 28ක්ද දුනිත් වෙල්ලාලගේ පන්දු 15කදී හතරේ දෙකක් සමඟ ලකුණු 15ක්ද රවීන්ද සිල්වා පන්දු 14කදී ලකුණු 13ක්ද රැස්කළහ.

නායක දුනිත් වෙල්ලාලගේ මේවන විට පන්දු යවමින් තරග තුනකදී කඩුලු 13ක් ලබා වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටී. සාන්ත කිට්ස් දූපතේ පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව තීරණය කළේ මුලින් පන්දු රැකීමය. කොදෙව් කණ්ඩායමේ ලකුණු රැස් කිරීමේ වේගය ඉනිම ආරම්භයේ අඩාලව තිබුණත් මැද හා අග භාගය වන විට එය වේගවත් විණි. ඔවුන් අවසාන පන්දු වාර 12දී ලකුණු 90ක් (කඩුලු 5කට) රැස්කළ අතර එයින් ලකුණු 48ක්ම ලබාගත්තේ අවසාන පන්දු වාර හතරේදීය.

නායක දුනිත් වෙල්ලාලගේ සහ ‍ට්‍රෙවීන් මැතිව් තම ප්‍රථම පන්දුවාර ඉතා දක්ෂ අයුරින් යැව්වත් ඔවුනගේ ඉතිරි පන්දුවාර කිහිපයෙන්ද වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට කොදෙව් මැදපෙළ සහ අගපෙළ පිතිකරුවෝ සමත්වූහ.

කොදෙව් පිතිකරුවන් අතර කැපී පෙනුණු කෙවින් වික්හම් පන්දු 91කදී හතරේ පහක් හයේ පහරක් සමඟ ලකුණු 56ක්ද ජෝර්ඩ්න් ජොන්සන් පන්දු 56කදී හතරේ හතරක් හයේ පහරක් සමඟ ලකුණු 47ක් ටෙඩී බිෂොප් සහ රිවල්ඩෝ ක්ලාක් ලකුණු 45 බැගින්ද මැකනි ක්ලාක් ලකුණු 21ක්ද රැස්කළහ.

ප්‍රථම තරග දෙකේදී කඩුලු දහයක් ලබා සිටි ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ මේ තරගයේදීත් ලකුණු 39කට කඩුලු තුනක්ද මතීෂ පතිරාජ ලකුණු 67කට කඩුලු දෙකක්ද ට්‍රවීන් මැතිව් ලකුණු 38කට කඩුල්ලක්ද දවාලූහ.

ලකුණු විස්තරය

බටහිර ඉන්දීය කොදෙව් දූපත් පන්දුවාර 50දී කඩුලු 9ට 250යි – (කෙවින් වික්හම් 56, ජෝඩ්න් ජොන්සස් 47, ටෙඩී බිෂොප් 45, රිවල්ඩෝ ක්ලාක් 45, දුනිත් වෙල්ලාලගේ 39/3, මතීෂ පතිරණ 67/2, ප්‍රවීන් මැතිව් 37/1යි)

ශ්‍රී ලංකාව පන්දුවාර 48.4කදී කඩුලු 7ට 251යි – (සදීෂ රාජපක්ෂ 76, අංජල බණ්ඩාර 40, ෂෙවොන් ඩැනියල් 34, රනුදු සෝමරත්න නොදැවී 28, දුනිත් වෙල්ලාලගේ 15, රවීන් ද සිල්වා 13, මැකනි ක්ලාක් 28/2යි)

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
USD United States (US) dollar

Pin It on Pinterest