slc
logo
Home   |    News
පෙබරවාරි 20, 2022
අභිනව නැෂනල් සුපර් ලීග් එක්දින කිරුළේ අයිතියත් ‘කණ්ඩම්බිගේ ජැෆ්නා’ පිලට

sinhala editor

Chamila Karawita reporting from Pallekele

දින 27 ක් මුලුල්ලේ කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැති අභිනව නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයින් තේරීම වෙනුවෙන් පැවැති අවසන් මහ තරගයේදී කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු කැන්ඩි කණ්ඩායමට එරෙහිව ලකුණු 37 ක ජයක් වාර්තා කළ සදීර සමරවික්‍රමගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ක්‍රීඩකයෝ අභිනව නැෂනල් සුපර් ලීග් ශූරයින් ලෙසින් අද (19 දා) කිරුළු පැළඳූහ. මෙරට පවත්වනු ලබන ප්‍රධානතම දේශීය තරගාවලියේ තරගාවලියේ ශූරතා කුසලානට අමතරව මුදලින් ලක්ෂ 20 ක මුදලක්ද ජැෆ්නා කණ්ඩායම දිනාගනිද්දී අනුශූරතාවයට පත් කැන්ඩි කණ්ඩායමට මුදලින් ලක්ෂ 10 ක් හිමිවිය.

ජැෆ්නා කණ්ඩායම ශූරතාව දක්වා ගෙන යෑමේ තිරය පිටුපස මහා මෙහෙයක් සිදුකරන ලද ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන ලද්දේ තිළිණ කණ්ඩම්බි මහතාය. එල්.පී.එල්. තරගාවලි ද්විත්වයේදීම ශූරතාව දිනා ගැනීම සඳහා ජැෆ්නා කණ්ඩායමේ මහ මොළකරු ලෙසින් කටයුතු කරන ලද තිළිණ කණ්ඩම්බි මහතා, නැෂනල් සුපර් ලීග් එක්දින කිරුළද යාපනයට දිනාදීමට සමත්වීම, පුහුණුකරුවකු ලෙසින් ඔහු සතුව හැකියාව කොතෙක්ද යන්නට හොඳම මිණුම් දණ්ඩකි. එම කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කරන ලද්දේ හිටපු ටෙස්ට් ක්‍රීඩකයකු වන ගයාන් විජේකෝන්ය.

අහස් කුස වළාකුළුවලින් බරව තිබීම හේතුවෙන් කාසියේ වාසිය දිනූ කැන්ඩි නායකයා කිසිදු පැකිළීමකින් තොරව පන්දුවට පහර දීම සඳහා ජැෆ්නා පිලට ආරාධනා කර සිටියේය. ඒ අවසරයෙන් පන්දුවට පහර දුන් කැන්ඩි පිල පන්දුවාර 48.3 කදී සියලු දෙනා දැවී ලකුණු 259 ක ඉලක්කයක් කැන්ඩි පිල හමුවේ තැබීය. එය හඹා යෑමේදී ප්‍රමෝද් මදුශාන් ප්‍රමුඛ ජැෆ්නා පන්දු යැවීමේ බලපරාක්‍රමය හමුවේ කැන්ඩි පිලට රැස් කරගත හැකි වූයේ පන්දුවාර 45.1 කදී සියලු දෙනා දැවී ලකුණු 221 කි.  

පන්දුවාරයකට ලකුණු 5.32 ක වේගයක් රඳවා තබා ගැනීමේ අභියෝගයද කරපින්නාගෙන පන්දුවට පහර දීමට පැමිණි ජැෆ්නා නායක සදීර සමරවික්‍රමව මුලු ලකුණු සංඛ්‍යාව 05 ක්ව තිබියදී දවා ගැනීමට ප්‍රමෝද් මදුශාන් සමත්වූවේය.එතැනින් නොනැවතුණු ප්‍රමෝද් ලසිත් කෘස්පේල්ලේ සහ කවීන් බණ්ඩාරගේ කඩුලු දවා ගනිමින් සිය පළමු පන්දු යැවීමේ වාරය නිමා කරන ලද්දේ පන්දුවාර 5 කදී ලකුණු 34 කට කඩුලු 3 ක් වශයෙනි. වේගය මුසුවුණු මදුශාන්ගේ පන්දු යැවීමේදී තිබූ නිවැරදි එල්ලය, ඉපිලීම සහ දෝලනය ඉතාම විශිෂ්ඨ මට්ටමක පැවැතීම කැන්ඩි පිතිකරුවන්ගේ නලලත රැළි ගැන්වීමට හේතුවිය.

මදුශාන්ගේ සංදර්ශනය නිසා ලකුණු 58 ක් ඇතුලත පළමු කඩුලු 3 ම අහිමිකර ගත් කැන්ඩි පිල ඊළඟ හානිය සිදුකරන ලද්දේ සංතුෂ් ගුණතිලකය. ඒ කැන්ඩි පිලේ වැඩි බලාපොරොත්තු තබා තිබෙන පිතිකරුවකු වන ඕෂද ප්‍රනාන්දුගේ කඩුල්ල දවා ගනිමිනි. තරගය නිමා වන විට මදුශාන්ගේ පන්දු යැවීම සටහන් වූයේ පන්දුවාර 10 කදී ලකුණු 59 ට කඩුලු 4 ක් ලෙසිනි.

ආරම්භය බිඳ වැටුණු කැන්ඩි කණ්ඩායමට යම් තරමක් හෝ අස්වැසිල්ලක් ගෙන ආවේ නම් ඒ නායක කමිඳු මෙන්ඩිස් සහ සහන් ආරච්චිගේ එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 73 ක සම්බන්ධතාව විය. එහෙත් අසාමාන්‍ය පන්දු යැවීමේ ඉරියව්වක් හෙබි හෙවත් ජාත්‍යන්තරයේදී ‘අන්ඩර්ටේකර්’ පන්දු යවන්නකු ලෙසින් හඳුන්වනු ලබන පන්දු සමින්ද ප්‍රනාන්දු විසින් ලකුණු 33 ක් ලබා සිටි සහන් ආරච්චිගේගේ කඩුල්ල දවා ගැනීමට සමත්වීම නිසා ජයග්‍රහණය පිළිබඳ කැන්ඩි පිලට වූ බලාපොරොත්තුවක් තිබුණේ නම් එයද බොඳ විය.

සහායකයා දැවී ගියද පටන්ගත් වගකීම ඉටු කිරීමට කමිඳු මෙන්ඩිස් උත්සාහ ගත්තද තරගයේ වීරයා වූ දේශීය තරග පිටියට ආධුනිකයකු වූ දුනිත් වෙල්ලාලගේ ඊට හරස්විය. සංතුෂ් ගුණතිලක උඩ පන්දුවක් රැක ගැනීම නිසා කැන්ඩි නායකයාගේ ඉනිම ලකුණු 46 කදී නිමාවට පත්විය. පසුපෙළින් පැමිණි තික්ෂිලද සිල්වා හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් පන්දු 19 කදී ලකුණු 37 ක් රැස් කරමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට උත්සාහ ගත්තද එය පරාජයේ පරතරය අඩුවුණා විනා ප්‍රතිඵලයට බලපෑමක් නොවීය.

පිටියට පිවිසි අවස්ථාවේ සිටම ප්‍රහාරාත්මක පිතිහරඹයක නියැළුණු ඕෂද පන්දු 18 කදී ලකුණු 22 ක් රැස් කරන ලද්දේ හතරේ පහර 4 ක්ද ඉනිමට ඇත්ළත් කරගනිමිනි. ඔහුට අමතරව ප්‍රහාරාත්මක වේගයක් ලබා ගත් ලසිත් කෲස්පුල්ලේ පන්දු 9 කදී හතරේ පහර 4 ක් එල්ල කරමින් ලකුණු රැස් කළද මදුශාන්ගේ පන්දුව ලසිත්ගේ පිත්තට වඩා ඉක්මනින් පා ආවරණය සොයා යෑම නිසා ඔහුගේ ඉනිම ලකුණු 16 දී හමාර විය. ඉදිරි පෙළ පිතිකරුවන් සිව්දෙනාගෙන් ලකුණු 20 සීමාව ඉක්මවා ගිය දෙවැනි පිතිකරුවා වූ කවීන් බණ්ඩාර ලකුණු 24 ක් ලබා ගත්තද දැවී යෑමට පෙර අවස්ථා 2 ක්ම ලබා දුන් නමුත් ජැෆ්නා පන්දු රකින්නන් අතින් එම අවස්ථා ගිලිහිණ.

වර්ෂාව හේතුවෙන් මිනිත්තු 45 ක ප්‍රමාදයෙන් ඇරැඹි තරගයේ ජැෆ්නා ඉනිම අතරතුර අවස්ථා 2 කදී අයහපත් කාලගුණයෙන් බාධා පැමිනිණ. එබැවින් එක් පන්දුවාරයක් අඩු කොට තරගය පැවැත්වීමට කටයුතු යොදද්දී ජැෆ්නා පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට යොවුන් කණ්ඩායම් නායක දුනිත් වෙල්ලාලගේ සමත්වූවේය.

ලකුණු 74 ක වෙල්ලාලගේ ඉනිම වටා ජැෆ්නා ඉනිම ගොඩ නැඟෙද්දී ඒ සඳහා ඔහු පන්දු 87 ක් වැය කළේය. පිටිය තුළ ස්ථාවරත්වයක් ගොඩ නඟා ගන්නා තෙක් තරමක් සෙමින් පන්දුවට පහර දුන් වමත් පිතිකරුවා පළමු ලකුණු 10 රැස් කර ගැනීම සඳහා පන්දු 21 ක් වැය කළේය. මුහුණ දුන් 68 වැනි පන්දුවේදී අර්ධ ශතකය සම්පූර්ණ කරගත් වෙල්ලාලගේ තරග 7 ක පළමු පෙළ එක්දින තරග දිවියේ පළමු අර්ධ ශතකයට හිමිකම් කීවේය.

ජැෆ්නා ඉනිමේ 6 වැනි පිතිකරුවා ලෙසින් වෙල්ලාලගේ පිටියෙන් ඉවත් වන විට ජැෆ්නා ඉනිමෙන් වාර්තා වුණු එකම හයේ පහරට අමතරව තවත් හතරේ පහර 5 කින් සිය ඉනිම වර්ණවත් කරගෙන සිටියේය. දැවී යෑමට මත්තෙන් නිමන්ද මදුශංක සමඟ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 80 ක සම්බනන්ධතාවක්ද තෙවැනි කඩුල්ල වෙනුවෙන් නිශාන් මදුශ්ක සමඟ ලකුණු 35 ක සම්බන්ධතාවක් පවත්වමින් ජැෆ්නා ඉනිම ගොඩ නැංවීමට දායකත්වය දැක්වූහ. ඔහුට අමතරව මැද පෙළ පිතිකරු රවිඳු ප්‍රනාන්දු පන්දු 42 කදී වේගවත් ලකුණු 41 ක් ද නිමන්ද මදුශංක පන්දු 50 කදී ලකුණු 35 ක්ද ලබා ගත්හ.  පන්දු යැවීමේදී ජැෆ්නා පිලේ එකම හිසරදය බවට පත්වූ අසිත ප්‍රනාන්දු ලකුණු 44 කට කඩුලු 5 ක් දවා ගත්තේය.

අවසන් මහ තරගයේ වීරයා – දුනිත් වෙල්ලාලගේ (ජැෆ්නා)

තරගාවලියේ වීරයා – ධනංජය ද සිල්වා (ජැෆ්නා)

දක්ෂතම පන්දු යවන්නා – පුලින තරංග (කැන්ඩි)

දක්ෂතම පිතිකරුවා – නුවනිඳු ප්‍රනාන්දු (කලම්බු)

ලකුණු සාරාංශය – ජැෆ්නා පන්දුවාර 48.3 ලකුණු 258 යි – (දුනිත් වෙල්ලාලගේ 74, නිමන්ද මදුශංක 35, සංතුෂ් ගුණතිලක 12, රවිඳු ප්‍රනාන්දු 41, දමිත සිල්වා 10, නිශාන් මදුශ්ක 36, අසිත ප්‍රනාන්දු 44/5, සචිඳු කොළඹගේ 53/2, පුලින තරංග 33/1, නිපුන් රන්සික 23/1, සහන් ආරච්චිගේ 21/1)

කැන්ඩි පන්දුවාර 45.5 කදී සියලු දෙනා දැවී ලකුණු 221 යි – (කමිඳු මෙන්ඩිස් 46, ඕෂද ප්‍රනාන්දු 22, සහන් ආරච්චිගේ 33, තික්ෂිල ද සිල්වා 37, සචිඳු කොළඹගේ 20, කවින් බණ්ඩාර 24, ලසිත් කෲස්පුල්ලේ 16, ප්‍රමෝද් මදුශාන් 59/4, නිමන්ද මදුශංක 17/3, සමින්ද ප්‍රනාන්දු 15/1, දුනිත් වෙල්ලාලගේ 34/1)

Active filters

Recent Posts

  • කොළඹ ලැබූ 386ට යාපනයේ පිළිතුර කඩුලු 7ක් දැවී 227යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ කොළඹ පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 386ට පිළිතුරු ලෙස […]
  • ගාල්ල පළමු ඉනිමට ලකුණු 602යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ දෙවැනි දිනයේදී ගාල්ල පිලේ […]
  • මල්කිගේ මංගල දක්ෂතා ශ්‍රී ලංකාවට ජය විවර කර දෙයි
    තමන් සහභාගිවූ මංගල පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරගයේදීම දක්ෂතා අතරට පැමිණීමට සමත් මඳ වේග පන්දු යවන්නියක වන මල්කි මදරා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂ පන්දු යැවීම ප්‍රධාන කොට නවසීලන්ත කාන්තා […]
  • අවිශ්කගේ ප්‍රහාරයෙන් කොළඹ ලකුණු පුවරුව ඉහළ යයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ යාපනය පිලට එරෙහිව පන්දු 164කදී හයේ 2ක් හා හතරෙ […]
  • ගාල්ල පිල කඩුලු 4කට ලකුණු 336ක් ලබා ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ පළමු දිනය නිමාවෙද්දී මුලින් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee